කොරෝනා වෛරසය: කොවිඩ්-19 නිසා කාන්තාවන්ට උපත් පාලන අහිමි වීමේ තර්ජනයක්

ඡායාරූප මූලාශ්‍රය, JAY ARGUELLES
කොරෝනාවෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන් කෝටි ගණනකට උපත් පාලන ක්‍රම භාවිත කිරීමට නොහැකි වීමේ ඉඩක් පවතී. ඒ හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් (Unwanted pregnancies) තීව්‍ර ලෙස ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අනතුරු අඟවයි.
"අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් 114 ක කාන්තාවන් මිලියන 47 කට නවීන උපත් පාලන ක්‍රම වෙත පිවිසීමට නොහැකි විය හැක" යනුවෙන් එම ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
"ලොක්ඩවුන් නීති මාස හයක් ක්‍රියාත්මක වුවහොත් අනපේක්ෂිත ගැබ් ගැනීම් 70 ලක්ෂයක් (මිලියන 7) සිදු විය හැකි බවත් එහිදී සෞඛ්‍ය සේවා වෙත දැඩි බාධා එල්ල විය හැකි බවත් බලාපොරොත්තු වේ. ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වන සෑම මාස තුනකදී ම අතිරේකව, තවත් කාන්තාවන් විසි ලක්ෂයකට නවීන උපත් පාලන වෙත පිවිසීමට නොහැකි විය හැක."
ගබ්සා කිරීම නීතියෙන් තහනම් කර ඇති සහ උපත් පාලන ක්‍රමවේද වෙත ළඟා වීමට ඇති ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වැඩසටහන් මත දැඩිව යැපෙන පිලිපීනය වැනි රටවල් වෙත එහිදී විශේෂ අවධානය යොමු වේ.
"කොවිඩ්-19 විසින් රැගෙන ආ අනවශ්‍ය ගැබ් ගැනීම් සහිත කාන්තාවන් දොළොස් ලක්ෂයක් පිලිපීනයේ සිටිය හැකියි" යනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පිලිපීනයේ නියෝජිතවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය ජෝසප් මයිකල් සිං පවසයි.
මේ වසරේ පැතිර ගිය වසංගතය හමුවේ අත්‍යවශ්‍ය උපත් පාලන පහසුකම් 50% කින් පහළ ගොස් ඇති පසුබිමක ඇති විය හැකි වඩාත් අහිතකර ප්‍රතිඵල වශයෙන් ඉහත කී ගණනය කිරීම් සිදු කර ඇති බව ඔහු කියා සිටියේය.
අනවශ්‍ය ගැබ් ගැනීම් සමග හෙද හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවකාවන් සහ හදිසි සේවා වෙත පිවිසීමට ඇති අවස්ථා අඩු වීම නිසා මාතෘ මරණ වැඩි වශයෙන් වාර්තා විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අනතුරු අඟවයි.
තොගවල පහළ යාමක්

ඡායාරූප මූලාශ්‍රය, JAY ARGUELLES
"කොන්ඩම්, ඉම්ප්ලාන්ට් සහ උපත් පාලන පෙති තොග පහළ යමින් තිබෙනවා," රාජ්‍ය නොවන සංවිධානයක් වන 'රූට්ස් ඔෆ් හෙල්ත්' හි ප්‍රධානී අමිනා එවන්ගෙලිස්ටා පැවසීය.
පිලිපීනයේ පලාවන් පළාතේ පුඑට්‍රො ප්‍රින්සෙසා සහ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වෙත ඇයගේ කණ්ඩායම නොමිලේ ප්‍රජනන සෞඛ්‍ය සේවා සපයයි. නමුත් වසංගතය නිසා නැව් සහ ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඔවුන් සතු තොග පහළ යමින් පවතී.
රජයේ ජාතික පවුල් වැඩසටහන බීබීසිය වෙත කියා සිටියේ බොහෝ උපත් පාලන ද්‍රව්‍යවල ප්‍රමාණවත් සැපයුමක් ඇති නමුත් ඒවා සියලු ම පළාත් වෙත යැවීම දුෂ්කර වී ඇති බවය.
"අප වෙත ළඟා වෙන්න කිලෝමීටර් 10 ක් පමණ පා ගමනින් එන කාන්තාවක් හිටියා. චෙක්පොයින්ට් පසු කරන් එන සෑම අවස්ථාකදීම අප හමුවට එන කාරණය පැහැදිලි කරන්න ඇයට සිදු වුණා," යනුවෙන් පලාවන් පළාතේ පුඑට්‍රො ප්‍රින්සෙසා නාගරික සෞඛ්‍ය කාර්යාලයේ සේවය කරන ඇනලිසා හෙරේරා පැවසීය.
ලොක්ඩවුන් කිරීම අතරතුර පලාවන් ඇතුළු පිලිපීනයේ ඇතැම් කලාපවල සෑම පවුලකටම සංචරණ බලපත්‍ර එක බැගින් ලබා දී තිබිණි.
"බලපත්‍රය රැගෙන යා හැක්කේ පිරිමියෙකුට පමණයි කියල නියමයක් නැති වුණත් බොහෝ අවස්ථාවල එය එසේ සිදු වුණා," යනුවෙන් අමිනා එවන්ගෙලිස්ටා සඳහන් කළාය.
"කාන්තාවන්ට එළියට ගිහින් උපත් පාලන ගෙන ඒම අපහසුයි. විශේෂයෙන් උපත් පාලන භාවිත කරන බව නොදැන සිටිය හැකි සහකරුවන් ඉන්න කාන්තාවන්ට,"
කෙසේ වුවත් පලාවන් වැනි ඇතැම් ස්ථානවල ලෝක්ඩවුන් නීති ලිහිල් කර ඇති අතර මේ වන විට පොදු ප්‍රවාහන සේවා යළි ක්‍රියාත්මක වේ. නමුත් සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ගමනාගමන සේවාවල යම් සීමා පනවා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, JAY ARGUELLES
"උපත් පාලන අවශ්‍ය බව පවසමින් අපට තවමත් කාන්තාවන්ගෙන් පණිවුඩ ලැබෙනවා. නමුත් ඔවුන් එළියට යන්න බයයි" යනුවෙන් අමිනා එවන්ගෙලිස්ටා පැවසීය.
සිය සහකරුවා සමග ස්වයං නිරෝධායනය වීම කාන්තාවන්ට තවත් අභියෝග එක් කර ඇති බව ඇය කියා සිටියාය.


"පිලිපීනයේ ස්වභාවික පවුල් සැලසුම් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන කාන්තාවන්ට සිය සරු කාලය තුළ වැළකී සිටීමට උත්සහ කිරීම වඩාත් දුෂ්කර වේවි," අමිනා එවන්ගෙලිස්ටා සඳහන් කළාය.
ඉදිරි පෙළ සේවා

ඡායාරූප මූලාශ්‍රය, JAY ARGUELLES
'රූට්ස් ඔෆ් හෙල්ත්' මේ වන විට දොරින් දොරට ගොස් වඩාත් අනතුරුදායක මට්ටමේ සිටින පවුල් වෙත නොමිලේ උපත් පාලන ලබා දීමට කටයුතු කරමින් සිටී.
"වැඩ කරන අතරේ මටත් වෛරසය ආසාදනය වෙයි කියල මට මුලින් බය හිතුණා. ගොඩක් ම මට මාස හයක දරුවෙක් ඉන්න නිසා," යනුවෙන් හෙදියක වන ෂෙරී විලාගරාසියා පැවසීය.
"එය ඇත්තෙන් ම අභියෝගයක්. නමුත් අපිට දකින්න ලැබෙන කාන්තාවන් වැඩි දෙනෙකුට උපත් පාලන මිලට ගැනීමේ හැකියාවක් නැහැ"
පිලිපීනයට කොරෝනාවෛරසය පැමිණීමත් සමග ප්‍රජනන සෞඛ්‍ය සේවා වෙත පිවිසීම සඳහා අමතර බාධා එක්ව ඇත.
"උපත් පාලන භාවිත කරන බව ස්වාමි පුරුෂයා දන්නේ නැති නිසා ගෙදරින් පිට තැනකදී එන්නත ලබා දෙන්න කියලා එක් කාන්තාවක් මගෙන් ඉල්ලීමක් කළා. ඇය ලොකු හදිස්සියක හිටියේ. ගෘහස්ථ නින්සනයට ලක්ව ඇති බවක් පෙනෙන්න තිබුණා," යනුවෙන් ෂෙරී විලාගරාසියා සඳහන් කළාය.


පලාවන් පළාත, වයස අවුරුදු විස්සට අඩු තරුණියන් ගැබ් ගැනීමේ ඉහළ ම අගයක් ගන්නා කලාප අතරින් එකකි. වසංගතයට පෙරත් උපත් පාලන වෙත ළඟා වීම පිලිපීන කාන්තාවන්ට දුෂ්කර කටයුත්තක් විය.
"මම සේවය ලබා දෙන වයස විස්සට අඩු මවක් ඉන්නවා. යළි ගැබ් ගැනීමෙන් වැළකී සිටින්න දරුවට මව් කිරි ලබා දීම කරන බව ඇය කියනවා. එය කෙහෙත් ම විශ්වාසය තැබිය නොහැකි ක්‍රමවේදයක්,"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2017 වසරේ ජාතික සංගණනයකට අනුව ලිංගික සබඳතා පවත්වන අවිවාහක කාන්තාවන්ගෙන් 49% ක් උපත් පාලන ක්‍රම භාවිත නොකරති. ගැබ් ගැනීම අවශ්‍ය නොකරන විවාහක කාන්තාවන්ගෙන් 17% ක් ද උපත් පාලන භාවිත නොකරන බව එහි දැක්වේ.
"පිලිපීනයේ කාන්තාවන් පවුල් සැලසුම් කෙරෙහි යොමු නොවෙන්න පළමු හේතුව තමයි ඔවුන් අතරු ආබාධ ඇති වෙතැයි බියක් දැක්වීම සහ ප්‍රජනන සෞඛ්‍යට විරුද්ධ කණ්ඩායම් විසින් සාක්ෂි කිසිවක් නොමැතිව කරනු ලබන දැනුවත් කිරීම්," යනුවෙන් වෛද්‍ය ජෝසප් මයිකල් සිං පැවසීය.


"මෙහි සිටින බහුතරය කතෝලිකයන්. ඒ වගේ ම අපට ඉන්නේ බලපෑම් කළ හැකි ගතානුගතික කතෝලික ආගමික නායකයන්. අනෙක් පැත්තෙන් රටේ දකුණු කෙලවරේ ඉන්නවා ඒ වගේ ම බලපෑම් කළ හැකි මුස්ලිම් නායකයන්," ඔහු සඳහන් කළේය.
සැලසුම් නොකළ ගැබ් ගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන්ට ආර්ථික, සමාජීය සහ මානසික බලපෑම් ඇති විය හැක.
"සැලසුම් නොකළ ගැබ් ගැනීමකින් කාන්තාවකගේ මූල්‍ය ශක්තියට බලපෑම් වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය පවතින අවස්ථාවේ," යනුවෙන් හෙදි නිලධාරිනී ෂෙරී පැවසීය.
"මෙය ඉතා ම දුක්ඛිත තත්ත්වයක්. කාන්තාවන්ට උපත් පාලන පහසුකම් තිබිය යුතුයි,"
(බීබීසී ලෝක සේවයේ ලාරා ඔවන් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)








