කොරෝනා වෛරසය: කොවිඩ්-19 වසංගතය මැද ගෘහස්ථ හිංසනය 'ඉහළට'

Generic image suggesting domestic violence with a shadow of a man raising his fist behind a woman cowering on a sofa

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයක්

කොරෝනාවෛරසය වසංගතයක මට්ටමින් පැතිරයාමත් සමඟ එය වළක්වා ගැනීම සඳහා බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන සමාජ දුරස්ථභාවය වෙනත් සමාජීය ගැටලුවලට හේතුවී ඇති බවක් පෙනී යයි.

එම ගැටලු අලුත් නොවන නමුත් ඒවා බරපතල අතට හැරෙමින් පවතින බවක් මාධ්‍ය වාර්තා මගින් පෙන්නුම් කෙරෙයි.

ඉන් ඉතා බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ ගෘහස්ථ හිංසනයයි.

ගෙදොරදොරේ සිදු කෙරෙන වධහිංසාවන්ට ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම ගොදුරු වෙයි.

එකී ගැටලුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කළේ "කොරෝනා වෛරස් උවදුරත් සමඟ නිවෙස් තුළ කොටුව සිටින අතරවාරයේ පහර කෑමට ලක්ව රෝහල් කරා එන පුද්ගල සංඛ්‍යාවේ යම් වර්ධනයක්" පෙන්නුම් කෙරෙන බවය.

"කොරෝනා වෛරස් උවදුර පැතිර යාමට පෙර දවසකට රෝගීන් 275-285 අතර සංඛ්‍යාවක් එනවා. ඔවුන් අතර ගෙදොරදොරේ හිංසාවන්ට ලක්වී පැමිණි අය සිටියේ සීමිත සංඛ්‍යාවක් එහෙත් අද රෝගීන් එන්නේ 80-90 ක් වගේ සංඛ්‍යාවක්. නමුත් පසුගිය දිනක ඒ කුඩා සංඛ්‍යාව අතර කාන්තාවන් 5 ක් 10 ක් විතර දවසකට පහර කෑමට ලක්ව තිබුණා. පසුගිය දිනවල එවැනි පහරදීම්වල‍ට ලක්වූ කාන්තාවන් 50 ක් විතර සිටියා" යනුවෙන් ඇය කියා සිටියාය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

හෙද නිලධාරිනිය පවසන පරිදි එම කාන්තාවන්ට පහර දෙනු ලැබ ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් යයි දැන ගැනීමට ලැබී ඇත.

මත්ද්‍රව්‍ය හෝ ගෙදරදොරේ වැඩ කටයුතුවලදී මතුවෙන ප්‍රශ්න එවැනි පහර දීම්වලට හේතුවී ඇති බවත් හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කරයි.

එකී පහරදීම්, හේතුවක් ඇතිව හෝ නැතිව සිදුව ඇති ක්‍රියාවන් බවත් කී ඇය "ඇතැම් පහරදීම් මධ්‍යම මට්ටමේ ඒවා වූ අතර සමහර ඒවා බරපතල පහරදීම්" යනුවෙන් පැවසීය.

එක් රටකට පමණක් සීමා නොවන ගැටලුවක්

Woman at window - reconstruction
ඡායාරූප ශීර්ෂ වැකිය, කොරෝනාවෛරසය හමුවේ නිවසටම කොටු වීම නිසා හිංසනයෙන් ගැලවී සිටීම අපහසු වී ඇති බව ක්‍රියාධරයෝ පවසති

මහජනයා නිවෙස්වල රැඳවීමට (lockdown) පියවර ගැනීමෙන් පසු 'ගෙදොරදොර ප්‍රචණ්ඩ ක්‍රියාවලට' අදාළව බ්‍රිතාන්‍යයේ ජාතික ගෘහස්ථ හිංසා උපකාරක සේවය වෙත දුරකතන ඔස්සේ ලැබෙන පැමිණිලි 25% කින් පමණ වැඩි වී ඇතැයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ශුභසාධන සංවිධානයක් පෙන්වා දෙයි.

'Refuge' නමැති එම ආයතනය පවසන්නේ ගතව ගිය සති තුනක කාලය දෙස බලන විට පළමු සති දෙකට වඩා තුන්වෙනි සතියේ පටන් 'ගෙදොරදොර ප්‍රචණ්ඩ ක්‍රියා' සම්බන්ධයෙන් සිය ගණනක් වැඩිපුර දුරකතන පණිවුඩ ලැබී ඇති බවය.

මෙයින් දින කීපයකට පෙර සිය පීඩකයාගෙන් බේරී පළාගිය කාන්තාවක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ "ලොක්ඩවුන් කිරීමත් සමග ගෙදර ජීවිතය දරාගත නොහැකි තත්ත්වයකට පත් වූ" බවය.

Presentational grey line
Presentational grey line

සිය නම අනාවරණය නොකරන ලෙස ඉල්ලමින් 'ටාරා' යනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූ එම කාන්තාව "සිය සහකරු මාස හයක පමණ කාලයක සිට තමාට ශාරීරික සහ මානසික පීඩාවන් සිදු කරන බව සඳහන් කළාය.

ආණ්ඩුව පසුගියදා මහජනයා නිවෙස්වල රැඳවීමට (lockdown) පියවර ගැනීමෙන් පසු තත්ත්වය තවත් බරපතල අතට හැරුණු බව ඇය පවසන්නීය.

'ටාරා' කියන කතාව

ටාරා මුහුණ දෙමින් සිටින හිංසනය එහි ආරම්භයේ දී හේතුව තේරුම්ගත නොහැකි දුරවබෝධ මට්ටමේ විය.

"ඔහු මාව මගේ පවුලෙන් සහ හිතවතුන්ගෙන් වෙන්කළා. මම මුළු කාලයම ඔහුත් එක්ක ගත කළත් ඔහු හිතුවේ මට වෙනත් සම්බන්ධකම් තියෙනව කියලයි..."

ටාරාගේ සැමියා ඇයගේ සමාජමාධ්‍ය ජාල ගිණුම වසා දැම්මේය. ඇය සිය ඥාතීන් බැලීමට යන ගමන්බිමන් නතර කළේය.

"ඔහු මාව මානසික පීඩාවට ලක්කළා. බැන්නා. පහර දුන්නා. ලොක්වුඩන් එකෙන් පස්සේ තත්ත්වය තවත් නරක අතට හැරුණා"

"උදේ නැගිට්ට ගමන්ම ඔහු රණ්ඩුවකට හේතුවක් සොයා ගන්නවා. මම උත්තර දුන්නම මට ගහනවා''

පීඩාව දරාගැනීමට නොහැකි තැන ටාරා වේල්ස්හි අනාථයන්ට පිහිටවෙන ස්ථානයක් කරා පළා ගියාය. දැන් ඇයට යොවුන් වියේ තරුණයන්ට සහ ජීවිත අවදානමේ සිටින කාන්තාවන්ට පිහිටවෙන ආයතනයකින් උදව් උපකාර ලැබෙයි.

Domestic abuse helpline staff on phone
ඡායාරූප ශීර්ෂ වැකිය, හිංසාවට ලක් වන පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා ඇති දුරකතන සේවා මේ වන විට කාර්ය මණ්ඩල සේවකයන්ගේ නිවසේ සිට ක්‍රියාත්මක වේ

'ලොක්ඩවූන්' කරනු ලැබීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවක් පෙන්නුම් කෙරෙයි.

ගෙදොරදොර හිංසනයට ගොදුරු වෙන්නන්ට පිහිටවීම සඳහා එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වෙන ජාතික ආයතනයේ වෙබ් අඩවියට පිවිසි කෙනෙකුට පසුගිය සතිය තුළ එවැනි හිංසන වාර්තාවන්හි මට්ටම 150%කින් ඉහළ ගොස් ඇති බවක් පෙනී යනු ඇත.

එක්සත් රාජධානියේ දැන් බල පැවැත්වෙන සමාජමය දුරස්ථභාවයට අදාළ තහංචි හේතුවෙන් ගෙදොරදොර ප්‍රචණ්ඩත්වය සහ මනුෂ්‍ය ඝාතන වැඩිවිය හැකි යයි හිංසනයට එරෙහි ක්‍රියාධාරිනියක වන රේචල් විලියම්ස් (Rachel Williams) පෙන්වා දෙන්නීය.

"ලොක්ඩවුන් කිරීම නැත්නම් සමාජ දුරස්ථභාවය පටන් ගත්තාම ළමුන් සහ කාන්තාවන් ගෙදොරදොර හිංසනයේ ගොදුරු බවට පත්වීම වැඩිවෙමින් තියෙනවා" යනුවෙන් ''Refuge ආයතනයේ විධායක නිලධාරිනී සැන්ඩ්රා හෝර්ලි (Sandra Horley) පවසන්නීය.

"ගෙදොරාදොර හිංසන කියන්නේ සෑමවිටම පහරදීමක් නොවෙයි. එය තර්ජනය කිරීම සහ බලහත්කාරී චර්යාවක් වැනි පාලනය කිරීමේ ආකාරයක්. ඒවගේම සංවේදී, ආර්ථිකමය, මානසික හෝ ලිංගික බලපෑමක් වෙන්නත් පුළුවන්" යනුවෙන් ඇය කියා සිටී.

"ලොක්ඩවුන් කිරීම හෝ සමාජ දුරස්ථභාවය පටන් ගත්විට ළමුන් සහ කාන්තාවන් ගෙදොරදොර හිංසනයේ ගොදුරු බවට පත්වීම වැඩිවෙමින් තියෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

රේචල් විලියම්ස් වසර 18 ක් එකට ජීවත් වූ සිය සැමියාගෙන් වෙන්වෙන බව දැනුම්දුන් මොහොතේ සැමියා ඇයට සැහැල්ලු කෙටිදුර වෙඩි තැබිය හැකි තුවක්කුවකින් ඇයට වෙඩි තැබුවේය.

"මට පෙනෙන විදිහට ගෙදරදොර හිංසාවන් ඉහවහා යයි" යනුවෙන් රෙචල් පවසන්නීය.

Presentational grey line
Presentational grey line

'ලොක්ඩවුන්' කාලය තුළ ගෙදොරදොර හිංසාවන්ට ගොදුරුවෙන කාන්තාවන් සහ පුරුෂයන් තමන් මුහුණදෙන තත්ත්වය පොලිසියට දැනුම් දිය යුතු යයි අවධාරණය කරන බ්‍රිතාන්‍ය පොලිසිය, එවැනි හිංසා සම්බන්ධයෙන් පිහිටවෙන ආයතනවලින් උපකාර ඉල්ලා සිටින ලෙස පීඩාවට පත් වෙන්නන්ට උපදෙස් දෙයි.

"පීඩකයා නිවසින් ඉවත් කිරීමට" තමන් පියවර ගන්නා බව බටහිර 'මිඩ්ලන්ඩ්' කලාපයේ නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළාය.

'ලොක්ඩවුන් වීමෙන්' දවසේ පැය විසි හතරම සැමියා සමඟ කොටුවීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය ඉතාම නරක අතට හැරුණ බව ටාරා පවසයි.

සිය සහකරුගෙන් සදහටම වෙන්වීමේ උවමනාව ලොක්ඩවුන්වීමත් සමඟ සනාථ වීය යන හැඟීමක් ඇය තුළ පවතී.