ඉරානය හා කෂෝගි ඝාතනය ගැන සෞදි ඔටුන්න හිමි කුමරු අදහස් දක්වයි

සෞදි අරාබිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉරානයට බාධා කිරීමට ලෝක ප්‍රජාව පියවර නොගන්නේනම් තෙල් මිළ සීග්‍රයෙන් ඉහළ යාමට ඉඩ ඇතැයි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අනතුරු අඟවා තිබේ.

ඒවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය වන්නේ ඉරානය දිරිමත් වී යුද්ධයකට මග පැදීම බවත් ඉන් ගෝලීය ආර්ථිකයට බලවත් හානි සිදුවනු ඇති බවත් මොහොමඩ් බින් සල්මන් කුමරු සඳහන් කළේය. සිය ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ටෙහෙරාන් පාලනය කුමරුගේ දෝෂ දර්ශනයට ලක්විය.

කුමරුගේ මේ ප්‍රකාශයෙන් සිදුවන්නේ "අන් කවරක් නොව, (සෞදියට) ලජ්ජාව අත්කරදීම" බව ඉරානය පැවසීය.

මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් ද කුමරු අදහස් පළකර තිබේ.

එම ඝාතනය සම්බන්ධ ඇතැම් වගකීම් තමා භාරගන්නා බව කුමරු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් CBS පුවත් සේවයට අදහස් දක්වූ කුමරු, තමා අදාළ ඝාතනයට පෞද්ගලිකව අණ කල බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

සවුදියේ අරාබියේ, තිරයෙන් පිටුපස සිටින පාලකයා ලෙස සැළකෙන සල්මාන් කුමරු, රියාද් පාලනය විවේචනය කළ මාධ්‍යවේදී ජමාල් කෂෝගිව පෞද්ගලිකව ඉලක්ක කළ බවට සැක කෙරේ.

2018 වසරේ ඔක්තෝබර් දෙවැනිදා තුර්කියේ පිහිටි සවුදි අරාබි කොන්සල් කාර්යාලයේදී කෂෝගි ඝාතනය කෙරිණ.

ජමාල් කෂෝගී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජමාල් කෂෝගී

ඉකුත් ඉරිදා "CBS' 60 Minutes" ප්‍රවෘත්ති වැඩසටහන හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමරු මේ සම්බන්ධව අදහස් පළකළේය.

එහිදී ඔහු පවසා තිබුණේ මෙම ඝාතනය සෞදි ආණ්ඩුව වෙනුවෙන් සේවයේ නිරත පුද්ගලයින් අතින් සිදුවූවක් බැවින්, රටේ නායකයකු ලෙස එහි වගකීම තමා සම්පුර්ණයෙන්ම භාරගන්නා බවය.

කෙසේ වෙතත් කෂෝගී ඝාතනයට සෘජුවම අණ දුන් බවට හෝ ඝාතනය සිදුවන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.

යේමනයේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ද අදහස් පළකළ කුමරු ඒ වෙනුවෙන් වන දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමටද යෝජනා කරන බවක් පෙනිණි.

යේමන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හූති කැරළිකරුවන්

සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් සන්ධානයක සහය ඇතිව එරට රජයේ හමුදා , ඉරානයේ සහය ලබන හූති කැරළිකරුවන්ට එරෙහිව සටන් වැද සිටිති.

ඉරානය සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ විරුද්ධවාදියෙකි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීම අරමුණු කරගත් ගිවිසුමෙන් ඉවත් විය.

මේ වසරේ ඇමරිකාව සහ ඉරානය අතර උණුසුම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ, මැයි සහ ජූලි අතර ගල්ෆ් කලාපයේදී තෙල් ටැංකි හයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ද ඇමරිකාව ඉරානයට චෝදනා කිරීමත් සමගිනි.

නමුත් එම චෝදනා ටෙහෙරානය ප්‍රතික්ෂේප කරයි.

තෙල් පිළිබඳ අනතුරු ඇඟවීම?

සැප්තැම්බර් මාසයේ මුලදී සෞදි අරාබියේ තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය පවසයි.

එම ප්‍රහාර නිසා ගෝලීය තෙල් සැපයුමෙන් 5% ක් පමණ බිඳ වැටුණු අතර තෙල් මිල ඉහළ ඉහළ යාමටද එය හේතුවක් විය.

එහෙත් සෞදි සිහසුනේ උරුමක්කාරයා වන මොහොමඩ් බින් සල්මාන් පැවසුවේ "ඉරානයට බාධා පැමිණවීම සඳහා ලෝකය දැඩි හා ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ලෝක අරමුණුවලට එල්ලවන තර්ජනය තවත් තීව්‍ර වනු අපට දැකගත හැකි වේවි" යනුවෙනි.

"තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි අතර තෙල් මිල අපේ ජීවිත කාලය තුළ අප දැක නැති තරම් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත."

මැදපෙරදිග කලාපය "ලෝකයේ බලශක්ති සැපයුමෙන් 30% ක්, ගෝලීය වෙළෙඳ මාර්ග වලින් 20% ක්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණ නියෝජනය කරනවා" යැයි ඔහු පැවසීය.

"මේ කාරණා තුනම නතර වේ යැයි සිතන්න. මෙයින් අදහස් කරන්නේ සෞදි අරාබිය හෝ මැද පෙරදිග රටවල් පමණක් නොව ගෝලීය ආර්ථිකයේ සමස්ත බිඳවැටීමක්" යැයි කුමාරයා සඳහන් කළේය.

ඉරානයේ " මෝඩකම" මත එල්ල කරන ලද ප්‍රහාරවල, උපාය මාර්ගික ඉලක්කයක් නොවූ බවද පැවසීය.

සැප්තැම්බර් 14 වන දින අබ්කායික් සහ කුරයිස් හි පිහිටි තෙල් සැපයුම් මධ්‍යස්ථාන දෙකට ඩ්‍රෝන යානා 18 ක් සහ කෘස් මිසයිල 7 ක් එල්ල කළ බව සෞදි අරාබිය පවසයි.

සෞදි අරාබිය
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ගිනි ගනිමින් තිබුණ ආකාරය

ඉරාන හිතවාදී හූති කැරලි කරුවන් පැවසුවේ තමන් මෙම ප්‍රහාර පිටුපස සිටින බවකි.

මෙම තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට පහර දී සතියකට පසු, තවදුරටත් එල්ලවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා සවුදි අරාබියට හමුදා යැවීමට ඇමරිකාව ඉදිරිපත් විය.

යේමනය ගැන ඔහු පැවසුවේ කුමක්ද?

යේමනයේ සිවිල් යුද්ධය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යේමනයේ සිවිල් යුද්ධය

හූති කැරලිකරුවන්ට දක්වන සහයෝගය නවත්වන ලෙස කුමරු ඉරානයෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසානයකට ගෙන ඒම "වඩාත් පහසු" වනු ඇති බව පවසමිනි.

" යේමනයේ ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා වූ සෑම පියවරකටම අද අප විවෘතයි." යැයි ඔහු කීය.

දින කිහිපයකට පෙර හූති සටන් කරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් පළ කළ කුමරු එය දේශපාලන සංවාදයක් සඳහා වූ "ධනාත්මක පියවරක්" ලෙස අර්ථදැක්වීය.

මෙම සිවිල් යුද්ධය ලෝකයේ දරුණුතම මානුෂීය ව්‍යසනයට මග පාදා ඇති අතර එරට ජනගහනයෙන් 80% කට මානුෂීය ආධාර හෝ ආරක්ෂාව අවශ්‍ය බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ සිට මේ දක්වා 70,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.

සිරගත කර ඇති කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගැන ?

ලුජේන් අල්-හැත්ලූල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලුජේන් අල්-හැත්ලූල්

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ලුජේන් අල්-හැත්ලූල් හට බන්ධනාගාරයේදී වධහිංසා පමුණුවා ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව සොයා බලන බව ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී කුමරු පැවසීය.

පිරිමියෙකුගේ අවසරයකින් තොරව රිය පැදවීම සහ සංචාරය කිරීම වැනි අයිතිවාසිකම් උදෙසා සාර්ථක උද්ඝෝෂණයක් සංවිධාන කළද හැත්ලූල් සහ සහ තවත් ක්‍රියාකාරීහු පිරිසක් වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවෙති.

කියවන්න