කෂෝගි ඝාතනය කළේ 'පූර්ව සැලසුමකට අනුවයි' - තුර්කි ජනපති හෙළි කරයි

ඡායාරූප මූලාශ්‍රය, cnn
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය දින ගණනකට පෙර සැලසුම් කිරීමෙන් අනතුරුව කරන ලද්දක් බව තුර්කි ජනාධිපති ටයිප් අර්දොවාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් පවසා තිබේ.
ඔහු පැවසුවේ, පූර්ව සැලසුමක් සහිතව කෂෝගි ඝාතනය කළ බවටත්, ඔක්තෝබර් 2 වන දා සෞදි කොන්සල් කාර්යාලය තුළදී මෙම "කෲර" ඝාතනය සිදුවූ බවටත් ප්‍රබල සාක්ෂි තුර්කි රජය සතුව පවතින බවය.
එසේ ම, සැකකරුවන්ට එරෙහිව ඉස්තාන්බුල් හිදී ම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ඔහු සෞදි අරාබියෙන් ඉල්ලා සිටියේ, කෂෝගිගේ මළ සිරුර ඇත්තේ කොහේද යන්න පිළිබඳවත්, ඔහු ඝාතනය කිරීමට අණ දුන්නේ කවුරුන් ද යන්න පිළිබඳවත් පිළිතුරු සපයන ලෙසය.
Washington Post මාධ්‍යවේදී ජමාල් කෂෝගිට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව සෞදි රජය පරස්පර තොරතුරු ඉදිරිපත් කර තිබේ. ඔහු ජීවතුන් අතර සිටින බව සති කිහිපයක් පුරා කියමින් සිටි සෞදි බලධාරීන් දැන් පවසන්නේ, ගැටුමක් හේතුවෙන් ඔහු මරණයට පත් වූ බවය.
තුර්කි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ, සෞදි අරාබියේ ආයෝජන සමුළුවේ ආරම්භයත් සමගිනි. කෂෝගිගේ ඝාතනයෙන් පසු රජයයන් සහ ව්‍යාපාරික ප්‍රබලයින් එම සමුළුවෙන් ඉවත්වීමට තීරණය කළහ.
තුර්කි ජනපති කීවේ මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කි ජනාධිපතිවරයා තහවුරු කළේය. කෙසේ වෙතත්, ඝාතනය සම්බන්ධයෙන් එක්රැස් කළ සාක්ෂි පිළිබඳව ඔහු කිසිදු තොරතුරක් හෙළි කළේ නැත.
මාධ්‍යවේදී කෂෝගිගේ අතුරුදන් වීමෙන් පසුව නිකුත් වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ හඬපට හෝ වීඩියෝ පට සම්බන්ධයෙන් ද තුර්කි ජනපතිවරයා කිසිවක් නොපැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර සිට අවස්ථා තුනකදී සෞදි ජාතිකයින් 15 දෙනෙකුගෙන් සැදී කණ්ඩායම් තුනක් වෙන් වෙන්වූ ගුවන් ගමන් මගින් ඉස්තාන්බුල් වෙත පැමිණ ඇති බවය.
ඝාතනය සිදුවූ දිනට පෙර දින අදාළ පිරිසෙන් කිහිපදෙනෙකු කොන්සල් කාර්යාලය ආසන්නයේ පිහිටි බෙල්ග්‍රාඩ් වනාන්තරයට ගොස් ඇති බව ඔහු පැවසීය. තුර්කි පොලිසිය පසුගිය සතියේ කෂෝගිගේ මළ සිරුර සොයා සෝදිසි මෙහෙයුම් දියත් කළේ ද එම ප්‍රදේශයේය.
නියම කරගෙන සිටි සිය විවාහයට අදාළ ලියකියවිලි කිහිපයක් ලබා ගැනීම සඳහා කෂෝගි කොන්සල් කාර්යාලයට පැමිණීමට පෙර අදාළ සෞදි නියෝජිතයින් විසින් ආරක්ෂක කැමරා පද්ධති ඉවත් කරනු ලැබූ ආකාරය තුර්කි ජනාධිපතිවරයා විස්තර කළේය.
"මම කියන්නේ, සැකකරුවන් 18 දෙනාට ඉස්තාන්බුල්වලදී ම නඩු පැවරිය යුතුයි" ඔහුගේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ඔහු පැවසීය. ඔහු අවධාරණය කළේ, "ඝාතනයට සම්බන්ධ වූ සියලු දෙනාට" දඬුවම් කළ යුතු බවය.
ස්වාධීන කොමිසමක්
මේ සම්බන්ධයෙන් ස්වාධී කොමිසමක් පත් කළ යුතු බව සඳහන් කළ තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සෞදි අරාබියේ සල්මාන් රජු ඒ සඳහා පූර්ණ සයයෝගය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවය.
කෂෝගි ඝාතනය කිරීම සඳහා අණ දුන් බවට බොහෝ පිරිස් චෝදනා කරන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයා මෙහිදී කිසිදු සඳහනක් නොකළේය.
කෙසේ වෙතත්, ඉස්තාන්බුල්හි බීබීසී වාර්තාකරු මාර්ක් ලොවන් පවසන්නේ, තුර්කි ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සෞදි අරාබිය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරක්ෂා කර ගැනීමේ උත්සහයක් විය හැකි අතර එසේ නැතහොත් සෞදි රජයෙන් හෝ අමෙරිකාවෙන් එල්ල වන පීඩනය මත සිදු කළ එකක් විය හැකි බවය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් "සැබෑ සත්‍යය" හෙළි කරන බවට තුර්කි ජනපති සපථ කළ ද, සියලු දෙනා දැනටමත් දන්නා තොරතුරුවලට වඩා වැඩි යමක් ඔහු නොපැවසූ බව බීබීසී මාධ්‍යවේදියා පැවසීය.










