සෞදි අරාබියේ ප්‍රහාර: ඉන්ධන සඟවූ ඇමරිකාවේ උමං

A tunnel under Louisiana, part of the Strategic Petroleum Reserve in the US

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙක්සාස් සහ ලුසියානා ප්‍රාන්තවල පොලොව යට පිහිටි ලවණ සහිත ගුහා

සෞදි අරාබියේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව හදිසි අවස්ථා සඳහා ඇමරිකා එක්සත් ජනපදය තුළ සඟවා ඇති ඉන්ධන පිටතට ගැනීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

තෙල් මිල තීව්‍ර ලෙස ඉහළ යාමත් සමග වෙළඳපොල සැපයුම යහපත් මට්ටමක තබා ගැනීම සඳහා මහා පරිමාණයෙන් සඟවා ඇති ඉහත කී ඉන්ධන සංචිත භාවිත කිරීමේ හැකියාවක් ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

ඔහු සඳහන් කරන ඉන්ධන සංචිත තුළ තෙල් බැරල් මිලියන 640 වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා ගබඩා කර තිබෙන්නේ ටෙක්සාස් සහ ලුසියානා ප්‍රාන්තවල පොලොව යට පිහිටි ලවණ සහිත ගුහා තුළය.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සියලුම සාමාජිකයන් දින 90 කට අවශ්‍ය ඉන්ධන අපනයන ළඟ තබා ගත යුතුව ඇතත් එක්සත් ජනපදය සතු ඉහත කී සංචිතය, හදිසි අවස්ථාවක් සඳහා ඇති ලොව විශාලතම තෙල් ගබඩාවයි.

එවැනි සංචිතයක් ඇයි?

An Israeli tank driving past a destroyed tank in October 1973

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1973 වසරේ පැවති අරාබි - ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් තෙල් අපනයනය මත තහනමක් පනවනු ලැබිණි

තෙල් සංචිතයක් සම්බන්ධයෙන් පළමු වරට එක්සත් ජනපද දේශපාලනඥයන්ගේ අවධානය යොමු වූයේ හැත්තෑව දශකයේ මුල් භාගයේදීය. ඔවුන් එවැනි අදහසකට පැමිණියේ ලොව පුරා ඉන්ධන මිල අහස උසට නැගීමට තුඩු දුන් මැදපෙරදිග රාජ්‍යයන් විසින් තෙල් අපනයනය මත පනවන ලද තහනමකින් අනතුරුවය.

ඉරානය, ඉරාකය, කුවේට්, කටාර් සහ සෞදි අරාබිය ඇතුළු ඉන්ධන අපනයනයේ නිරත අරාබි රටවල්වලින් සැදුම්ලත් ඔපෙක් (OPEC) සංවිධානයේ සාමාජික රටවල් එක්සත් ජනපදයට තෙල් අපනයනය කිරීම ප්‍රතික්ෂේප කළේ 1973 වසරේ පැවති අරාබි - ඊශ්‍රායල යුද්ධයේදී එක්සත් ජනපදය ඊශ්‍රායලයට සහාය දීම හේතුවෙනි.

ඉහත කී යුද්ධය එම වසරේ ඔක්තෝබර් මස සති තුනක කාලයක් පැවතිනි. නමුත් තවත් රටවල් ද ඉලක්ක කර ගනිමින් තෙල් අපනයනය සම්බන්ධයෙන් පනවන ලද තහනම 1974 වසරේ මාර්තු දක්වා ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් ලොව පුරා තෙල් මිල සිව් ගුණයකින් ඉහළ ගියේය. එනම් ඩොලර් 3 පැවති තෙල් බැරලයක මිල ඩොලර් 12 දක්වා ඉහළ නැංවිණි.

ඉන් බලපෑමට ලක් වූ රටවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෙළ ගැසුණු මෝටර් රථ දැක්වෙන ඡායාරූප එම අර්බුදයේ තරම කියා පෑවේය.

එක්සත් ජනපද කොංග්‍රසය විසින් 1975 වසරේදී බලශක්ති ප්‍රතිපත්තිය සහ සංරක්ෂණ පනතක් සම්මත කර ගනු ලැබීය. ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් යළි මතු විය හැකි අර්බුදකාරී තත්ත්වයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔවුන් විසින් උපායමාර්ගික ඉන්ධන සංචිතයක් ආරම්භ කරනු ලැබුවේ ඒ අනුවය.

සංචිතය කුමක්ද?

තෙල් නිෂ්පාදනය
සෞදි අරාබියේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර

මේ වන විට ස්ථාන හතරක තෙල් ගබඩා කර ඇත:

  • ටෙක්සාස් - ෆ්‍රීපෝර්ට් සහ විනී ප්‍රදේශය ආසන්නයේ
  • ලුසියානා - ලේක් චාල්ස් සහ බැටන් රූජ්

ඉහත කී සෑම ස්ථානයකම මිනිසුන් විසින් ඉදි කරන ලද පොලොව දෙසට කිලෝමීටරයක් (අඩි 3,300) දක්වා දිවෙන ලවණ ගුහා කිහිපයක් පවතී. තෙල් ගබඩා කර ඇත්තේ එම උමං තුළය. පොලොව මතු පිට ගබඩා කර තබනවාට වඩා එම ක්‍රමවේදය වඩාත් ලාභදායි මෙන්ම ආරක්ෂිතය. ලවණ තුළ ඇති රසායනික සංයෝග සහ භූගෝලීය පීඩනය මගින් තෙල් කාන්දු වීම වළකාලයි.

ෆ්‍රීපෝර්ට් ආසන්නයේ ඇති බ්‍රයන් මවුන්ඩ් නමැති විශාලතම ගබඩා භූමිය තුළ තෙල් බැරල් මිලියන 254 ක් දක්වා ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ඇත.

නිල වාර්තාවලට අනුව සැප්තැම්බර් 13 වෙනිදා වන විට ඉහත කී ගුහා තුළ ගමබා කර ති තෙල් බැරල් සංඛ්‍යාව මිලියන 644.8 කි.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පාලක මණ්ඩලයට පවසන පරිදි 2018 වසරේදී එරට සාමාන්‍ය වශයෙන් දිනකට තෙල් බැරල් මිලියන 20.5 ක් භාවිත කර ඇත. දින 31 සඳහා සෑහෙන තෙල් සංචිත එක්සත් ජනපදය සතුව ඇති බව එමගින් පෙනී යයි.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

බොර තෙල්

1975 වසරේදී ජනාධිපති ගෙරල්ඩ් ෆෝඩ් විසින් අත්සන් කරන ලද නීතියට අනුව ඉන්ධන සංචිත පිටතට ගැනීම සඳහා ජනාධිපතිවරයාට අනුමැතිය ලබා දිය හැක්කේ "දරුණු බලශක්ති සැපයුම් බිඳවැටීමකදී" පමණි.

භෞතික වශයෙන් රඳවා තබා ගන්නා බැවින් සෑම දිනකම ගුහා තුළින් පිටතට ගැනීමට හැකියාව ඇත්තේ අඩු තෙල් ප්‍රමාණයකි. තෙල් පිටතට ගැනීම සඳහා ජනාධිපතිවරයගේ අනුමැතිය හිමි වුවත් ඒවා වෙළඳපොළට නිකුත් කිරීම සඳහා සති දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇත.

එමෙන්ම ගබඩා කර ඇති තෙල් පිරිපහසු කර නොමැත. මෝටර් රථ, නෞකා සහ ගුවන් යානා සඳහා භාවිත කිරීමට පෙර එම තෙල් පිරිපහදු කළ යුතු වේ.

එක්සත් ජනපදයේ බලශක්ති ලේකම් රික් පෙරී, CNBC මාධ්‍යය වෙත සඳුදා අදහස් දක්වමින් කියා සිටියේ සෞදි අරාබිය වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ සංචිත දෙසට යොමු වීමට තවමත් "තරමක් කල් වැඩි බවය".

සංචිත නිතර භාවිත කර තිබේද?

තෙල් මිල

ඉහත කී තෙල් සංචිත අවසන් වරට භාවිත කර ඇත්තේ 2011 වසරේදීය. ඒ 'අරාබි වසන්තයේ' නැගීසිටීම් හේතුවෙන් තෙල් සැපයුමට බාධා එල්ල වීම හේතුවෙනි. එහිදී බලශක්ති සැපයුම බිඳවැටීම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එක්ව තෙල් බැරල් මිලියන 60 ක් නිකුත් කළහ.

කෙසේ වුවත් අවස්ථා කිහිපයකදී එක්සත් ජනපදය තෙල් බැරල් විශාල සංඛ්‍යාවක් අලෙවි කර ඇත. 1991 ගල්ෆ් යුද සමයේදී තෙල් සංචිත භාවිත කිරීම සඳහා එවක ජනාධිපති එච්.ඩබ්ලිව් බුෂ් අනුමැතිය ලබා දුන් අතර 'කත්‍රිනා' කුණාටුව හමුවේ සංචිතවලට අයත් තෙල් බැරල් මිලියන 11 අලෙවි කිරීමට ඔහුගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අවසර ලබා දුනි.

නමුත් එක්සත් ජනපදයේ බලශක්ති නිෂ්පාදනය ඉහළ යමින් තිබෙන වකවානුවක මෙවැනි දැවැන්ත තෙල් සංචිතයක් පවත්වා ගෙන යාමේ ප්‍රයෝජනය ප්‍රශ්න කෙරී ඇත. එම සංචිත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වොෂිංටන් පාලනයේ ඇතැම් පුද්ගලයන්ගේ නිර්දේශය වී තිබේ.

ආණ්ඩුවේ වගවීම පිළිබඳ කාර්යාලයේ වාර්තාවකින් 2014 වසරේදී යෝජනා කර තිබුණේ එමගින් ඇමරිකානු පාරිභෝගිකයන්ට අඩු මිලකට ඉන්ධන ලබා දීමේ හැකියාවක් පවතින බවය. මූල්‍ය හිඟයට පිලියමක් වශයෙන් 2017 වසරේදී තෙල් සංචිතයෙන් අඩක් අලෙවි කිරීම පිළිබඳ ට්‍රම්ප් පාලනයේ අවධානය යොමු විය.

මුල්‍ය හිඟය පියවීමේ පියවරේ කොටසක් වශයෙන් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පාලනය සමයේ 1997 වසරේදී තෙල් බැරල් මිලියන 28 ක් අලෙවි කරනු ලැබිණි.