ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්: ගල්ෆ් කලාපයෙන් "ඉවත්ව සිටින්න"

ඡායාරූප මූලාශ්‍රය, EPA
විදේශ හමුදා ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතින බවට ඉරාන ජනාධිපති හසන් රූහානි අනතුරු අනතුරු ඇඟවීය.
ඔහු මෙම ප්‍රකාශ කළේ ඇමරිකානු හමුදා ගල්ෆ් කලාපයේ ස්ථානගත කරනු ඇති බව එක්සත් ජනපදය පැවසීමෙන් අනතුරුවය.
ඉරාන ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ විදෙස් හමුදා නිරන්තරයෙන් ම "වේදනාව සහ දුක" රැගෙන ආ බවය.
සෞදි අරාබියේ ඛනිජ තෙල් සැපයුම් මධ්‍යස්ථාන දෙකකට පසුගියදා ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව, තවත් ඇමරිකානු හමුදා සේනාංක එරටට යැවීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.
ඉහත කී ප්‍රහාරය ඉරානය විසින් එල්ල කරනු ලැබූ බවට එක්සත් ජනපදය සහ සෞදි අරාබිය චෝදනා කරති.
ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රහාරය එල්ල වුයේ සැප්තැම්බර් 14 වැනිදා ය.

ඉදිරි දින කිහිපය තුළ දී එක්සත් ජාතීන් සමඟ ද ගල්ෆ් කලාපයේ සාමය පිළිබඳව නව කතිකාවක් ආරම්භ කිරීමට ඉරානය කටයුතු කරනු ඇති බව ජනාධිපති රූහානි පැවසීය.
ඉරානය සහ එක්සත් ජනපදය අතර මතභේද උත්සන්න වන බවක් මේ වසර තුළ දී දක්නට ලැබිණ.
එවැනි වාතාවරණයක් ආරම්භ වුයේ, ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ ඒ වෙනුවෙන් ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීම සඳහා අත්සන් කර තිබු ගිවිසුම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතහැර දමනු ලැබීමෙන් පසුව ය.
ප්‍රහාරය
සෞදි අරාබියේ ඛනිජ තෙල් සැපයුම් මධ්‍යස්ථාන දෙකකට පසුගියදා ප්‍රහාරයක් එල්ල වූ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට ඇමරිකාව සහ සෞදිය චෝදනා කළත්, එම ප්‍රහාරයේ වගකීම යේමනයේ හුතී කැරලිකරුවන් භාර ගෙන තිබේ.
නියමුවන් නොමැති යානා (ඩ්‍රෝන) යොදා ගනිමින් සෙනසුරාදා ප්‍රහාර එල්ල කෙරුණේ සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමිනි.
'අරම්කො' (Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයට සහ කුරායිස් (Khurais) නම් ඛනිජ තෙල් නිධියට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී ඇති වූ ගිනිගැනීම් හේතුවෙන් සෞදි අරාබි ඛනිජතෙල් නිෂ්පාදනයට විශාල අලාභ හානි සිදු වූ අතර, ගින්න පාලනය කරනු ලැබීමෙන් පසු නිෂ්පාදන යළි ආරම්භ කළ බව අලුත්ම වාර්තා මගින් පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කරන්නේ එම ප්‍රහාරයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු උපයෝගී කර ගනිමිනි.

නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙක් එක්සත් ජනපද සහ ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින්, ප්‍රහාර එල්ල කෙරුණු දිශාව සහ එහි පරිමාව සලකන විට 'හූති' කැරලිකරුවන් ඊට සම්බන්ධ වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව කියා සිටියේය.
ප්‍රහාරය එල්ල කෙරුණේ සෞදි ඛනිජ තෙල් මධ්‍යස්ථානවලින් නිරිත දිග පිහිටි 'හූති' කැරලිකරුවන් ක්‍රියාත්මක වෙන යේමනය දෙසින් නොව, බටහිර සහ වයඹ අතර දිශාවකින් බව එම ඇමෙරිකානු නිලධාරියා පවසයි.
කියවන්න:
එම නිලධාරියාට අනුව ප්‍රහාරය උතුරු ගල්ෆ් කලාපය,ඉරානය හෝ ඉරාකයෙන් එල්ල කොට ඇතැයි නිගමනය කළ හැකිවේ.
කෙසේවුවද,එම ප්‍රහාර නිසා ලෝක මට්ටමින් ඛනිජ තෙල් සැපයුම 5%න් අඩු වූ අතර මිලෙහි වේගවත් වැඩිවීමක් ද දක්නට ලැබිණි. 1991 ගල්ෆ් යුද සමයේ එක් දිනකදී වාර්තා වූ ඉහළම ඛනිජ තෙල් මිල වාර්තා කරමින් 20% දක්වා ඉහළ ගියත් පසුව එය යළි පහළ වැටිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මොනවාද?
ඉරාන ජනාධිපතිවරයා ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ විදෙස් හමුදා පිළිබඳව කතා කළේ, 1980-1988 කාලය අතරතුර පැවති ඉරාන - ඉරාක යුද්ධයේ ආරම්භය අනුස්මරණය කෙරෙන උත්සවයක් අමතමිනි.
"විදේශ හමුදා අපේ ජනතාවටත් අපේ කලාපයටත් ප්‍රශ්න සහ අනාරක්ෂිත බව ඇති කරනවා." ඔහු පැවසීය.
අතීතයේ දී විදෙස් හමුදා කලාපයට පැමිණීම "විනාශයක්" වූ බව ද ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේය. ඔහු විදෙස් හමුදාවලට තවදුරටත් කියා සිටියේ කලාපයෙන් "ඉවත්ව සිටින්න" යනුවෙනි.
"ඔවුන් අවංක නම්, ඔවුන්ගේ අවි තරඟයට අපේ කලාපය අඩවියක් නොකර ගත යුතුයි. අපේ කලාපයෙන් සහ අපේ ජාතීන්ගෙන් ඔබ ඈත්ව සිටින තරමට මෙහි ආරක්ෂාව තර වේවි." ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගල්ෆ් කලාපයට තම හමුදා යවන බවට පසුගිය සිකුරාදා පෙන්ටගනය ප්‍රකාශ කළේ සෞදි අරාබිය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.
මිසයිල යොදා ගනිමින් ගුවන් කලාපයට ආරක්ෂාව සැපයීම මෙහි ප්‍රධාන අරමුණ ය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) ඊට දැඩි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඕනෑම ආක්‍රමණයක් පසුපස ලුහුබඳින බවය.










