"හෙල්ලෙන්න එපා... මාව බඳින්න!" - තුවක්කු කටෙන් මංගල යෝජනා ගෙනෙන රුසියානුවෝ

Sergei and Anastasia

(බීබීසී රුසියානු සේවයේ නිනා නසරෝවා සකස් කළ වාර්තාවක් ඇසුරිණි)

ගුවන් යානයෙන් ශාන්ත පීටර්ස්බර්ග් නගරය කරා ආ ඇනස්ටාසියා අපේක්ෂා කළේ සිය පැමිණීම බලාපොරොත්තුවෙන් එහි රැදී සිටින සිය පෙම්වතා වූ සෙර්ගේයි දැකීමය.

නමුත් ඒ වෙනුවට ඇයගේ දුරකතනයට ලැබුණේ කෙටි පණිවිඩයකි. නොවැලක්විය හැකි හේතුවක් නිසා තමන්ට ඒමට නොහැකි බවත් සිය මිතුරකු ඇයව කැඳවා යාමට පැමිණෙන බවත් එහි දැක්විණි.

එතෙක් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය.

මිතුරාගේ රියෙහි නැගී සිය නවාතැන කරා ඇනස්ටාසියා යමින් සිටි මග අවුරමින් ඇදුනේ කලුපැහැ කරන ලද වීදුරුවලින් යුතු රියකි. ඉන් පැනගත් මුහුණු ආවරණය කළ සන්නද්ධ පිරිසක් ඇනස්ටාසියා ගමන් කළ රිය පැදවූ මිතුරා ඉන් එළියට ඇදගත්හ.

ඇනස්ටාසියා රියෙහි පසුපසට ගෙන ගිය එම පිරිස එම මෝටර් රියේ පසුපස අසුරා තිබු ඇයගේ බඩුබාහිරාදිය අවුස්සා එතුළින් සුදු පැහැ කුඩු විශේෂයක් සහිත කුඩා පැකට්ටුවක් එළියට ගත්හ.

විශේෂ බලකා භටයින්ගේ නිලඇඳුම් ඇඟලා ගත් පිරිස අතරින් ඉදිරියට ආ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පරීක්ෂිකාවක් "තහනම් ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් ඔබ සැකකාරියක්" යැයි කීවාය.

ඇනස්ටාසියාගේ මුහුණ මලානික විය.

වික්ෂිප්තභාවයකින් යුතු සිනහවක් අතරින් "ඔබට වැරදිලා. මේක මගේ නෙවෙයි" යැයි ඇය පැවසුවාය.

"එහෙනම් කාගේද? සෙල්ලම් කළා ඇති" එක් අයෙක් ගිගුරුවේය.

පැකට්ටුව තුළ වූ කුඩා රෝස පැහැ පෙට්ටියක් විවර කරන තෙක් ම ප්‍රශ්න වැලක් නැගිණි.

"මේ මොකක්ද" ඔහු විමසීය.

"දන්නේ නැහැ" බිඳුණු හඬකින් ඇය කීවාය.

එක්වරම දණ බිම ඔබාගත් එක් පුද්ගලයෙක් සිය මුහුණු ආවරණය ඉවත්කරන අතරේ කෑ ගැසීය. "මාව බඳින්න!"

Still from special ops performance
ඡායාරූප ශීර්ෂ වැකිය, The moment Sergei's friend was hauled out of the car
Sergei proposing to Anastasia
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇනස්ටාසියා වෙත සෙර්ගේයි සිය මංගල යෝජනාව ඉදිරිපත් කරමින්

ඒ සෙර්ගේයි. සැබවින්ම එතැන සිටි අය අතරින් ආරක්ෂක අංශයක සේවය කරන එකම පුද්ගලයා ඔහුය. අනෙක් සියලු දෙනා මෑතකදී රුසියාවේ පිහිටුවන ලද කර්මාන්තයක කොටසක් වූ "extreme proposal" නමින් හැඳින්වෙන උද්වේගකර ස්වභාවයකින් මංගල යෝජනා කිරීමේ සේවයකට එක්ව රැකියාව කරන්නෝ වූහ.

රහස දැනසිටි, සෙර්ගේයි ගේ රියදුරු මිතුරාට පැවරී තිබුණේ මුහුණු වසාගත් පිරිස රිය නැවැත්වූ පසු බියගත් බව ඇඟවීමය.

මිල අධික 'සංග්‍රහය'

මෙවැනි මංගල යෝජනාවකදී "ආරක්ෂක හමුදා සාමාජිකයකු" සමග පැය භාගයක ඡායාරූප ගැනීමකට රූබල් 700 (පවුම් 8.70; ඩොලර් 10.50) වැනි සුළු මුදලක සිට පූර්ණ හමුදා සංදර්ශනයක් ඇතුළත්වූවකට රූබල් 60,000 (පවුම් 745; ඩොලර් 900) ක් වැනි ප්‍රමාණයක් අය කෙරේ.

සෙර්ගේයි ට මේ සඳහා රූබල් 30,000ක් වැය විණි. සිය සැබෑ හමුදා සගයින් මේ සඳහා යොදාගැනීමට මුලදී කල්පනා කළ සෙර්ගේයි ඒ සඳහා ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) වෙත ගිය නමුත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. පසුව ඔහු මේ සේවය ලබාගැනීමට යොමු විය.

Sergei Rodkin
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙර්ගෙයි රොඩ්කින්

ස්පෙට්ස්නාස් (විශේෂ මෙහෙයුම්) සංදර්ශනයේ නිර්මාතෘ සෙර්ගේයි රොඩ්කින් පවසන්නේ සිය සේවාදායකයින්ට සේවය ලබාදීමේදී අයකිරීමේ උපරිමයක් නැති බවය.

2010 වසරේදී සිය මිතුරන් වෙනුවෙන් මෙවැනි සංදර්ශන නොමිලේ සංවිධාන කළ බව 36 හැවිරිදි ව්‍යාපාරිකයා පවසයි.

"මේ දේවල් එන්න එන්න පුළුල් වෙන්න ගත්ත නිසා අවුරුද්දකට පසුව මෙය මුදලට සපයන්න පටන්ගත්තා" යැයි ඔහු බීබීසී සමග පැවසීය.

මෙවැනි මංගල යෝජනාවකට මුල්ම ඇණවුම ලද්දේ 2015 දීය. රුසියාව පුරා මෙහි වරලත් සේවා සැපයුම්කරුවන් 14 දෙනෙකු සිටින අතර දැන් තරඟකාරීන් ද බිහිවී තිබේ.

තාත්ත්විකවාදී රසය

මේ නළුවන් අතර හිටපු පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයෝ ද වෙති. ඒ නිසාම ඔවුන් තාත්ත්වික බවක් රංගනයට එක් කරති. අර්ධ කාලීනව ඔවුන් මේ රැකියාවේ යෙදෙන්නේ පූර්ණ කාලීනව රැකියාවක් වීමට තරම් ඉල්ලුමක් තවමත් ඊට නොමැති බැවිනි.

මත්ද්‍රව්‍ය අල්ලාගැනීමේ සුපුරුදු ක්‍රියාදාමය සිය සේවාදායකයින් ඉල්ලා සිටින බව සෙර්ගේයි පවසයි.

"ඔවුන්ට කාල්පනික බවක් නැහැ! හැම දෙනාම ඉල්ලන්නේ විශේෂ මෙහෙයුම්, සන්නද්ධව අත්අඩංගුවට ගැනීම්, මත්ද්‍රව්‍ය වගේ දේ"

මෑතකදී, ඉතා සැබෑ සිදුවීමක් ලෙස, රුසියානු ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියෙකු වන ඉවාන් ගොල්නොෆ් සතුව තිබී මත්ද්‍රව්‍ය සොයාගත්තේයැයි පොලිසිය චෝදනා කළේය.

ඒ අවස්ථාවේදී ජනමාධ්‍යවේදියා අවධාරණය කළේ අදාළ නිලධාරීන් විසින්ම එම මත්ද්‍රව්‍ය යොදන ලද බවකි. ප්‍රමාණවත් සාක්ෂි නොවූ බැවින් පොලිසිය විසින් එම චෝදනා ඉවත්කරගන්නා ලදුව ඔහුව නිදහස් කෙරිණි.

මනෝ විද්‍යාඥවරියක වන පොලිනා සොල්දතෝවාට අනුව, මෙවැනි සංදර්ශන හා වෙනත් සීමාන්තික ක්‍රියාකාරකම්වලින් සාක්ෂි දරන්නේ රුසියානුවන්ගේ දෛනික ජීවිතයේදී පොලිසිය ප්‍රකට කරන භූමිකාව ය.

"සමාජය තුළ සිදුවන දේට එම සමාජය ප්‍රතිචාර දක්වන එක් ආකාරයක් තමයි හාස්‍යය" බීබීසී සමග ඇය කීවාය.

Screenshot of Yulia throwing flowers at her husband-to-be

ඡායාරූප මූලාශ්‍රය, Spetsnaz Show

ඡායාරූප ශීර්ෂ වැකිය, යුලියා තමන්ට පිරිනැමුණු මල් කළඹින් ම දමා ගැසුවාය.

සිය බැඳීම ආරම්භයේදී කම්පනයක් ඇති කළ ද සෙර්ගේයි කෙරෙහි ඇතිවූ කෝපය වැඩි කල් නොපැවති බව ඇනස්ටාසියා කීවාය. "එය ඇත්තෙන්ම බියකරුයි. ඒ වගේ දෙයක් මට කවදාවත් වෙලා නැහැ"

සැබෑ ලෙසටම මෙවැනි මත්ද්‍රව්‍ය හමුවුවහොත් කොපමණ වසර ගණනක් සිරගතවන්නට සිදුවෙතැයි දන්නේ දැයි ඔහු ඇයගෙන් විමසීය. "මේ වගේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයකට අවුරුදු 20 දක්වා වේවි" ඔහු කීය.

මේ ආකාරයේ අසීමාන්තික යෝජනාවල හාස්‍ය බවක් සෑම දෙනෙකුටම නොපෙනේ.

පෙන්සා හි වෙසෙන ඇලෙක්සාන්දර් කී ආකාරයට මෙවැනි "සංදර්ශනයක" ඉලක්කය වූ ඇගේ පෙම්වතිය වන්නට තැනැත්තිය හඩාවැටෙන්නට විණි. තමන්ට හෘදයාබාදයක් ඇතිකිරීමට තැත් දැරී යැයි ඇය චෝදනා කළාය.

ර්යාසාන් හි වෙසෙන යූල්යා, සිය 30 වෙනි උපන්දින සමරුව අසීමාන්තිකව පුදුමය දනවන සුළු ලෙස සංවිධානය කළ සැමියාට විනීත බැවින් අඩු බසින් සංග්‍රහ කළාය.

එය කෙතරම් ද යත් තමන්ට පිරිනැමුණු මල් කළඹින්ම ඔහුට පහර දුන්නාය.

Still from a Spetsnaz Show drama

ඡායාරූප මූලාශ්‍රය, Spetsnaz Show

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමුන්ගේ උපන්දින සාද සඳහා ද මෙවැනි සංදර්ශන පැවැත්වේ

මෙවැනි අත්දැකීම්වලින් ප්‍රමෝදයට පත්වන්නේ බලය ඇති තනතුරුවල සිටින පුද්ගලයින් පමණක් බව පොලිනා සොල්දතෝවා මනෝ විද්‍යාඥවරිය පවසන්නීය. "මේ පුද්ගලයින් සැබෑ පොලිස් නිලධාරීන් බව දැනගැනීමෙන් ලබන සහනයෙන් මේ පෙම්වතියන් සිනහ නංවනවා."

"මේ පීඩාවට ලක්වෙන ඇයට මේක විහිළුවක් නොවන අතර පසුව, නිර්මාණශීලී සහකරුවකු ලැබීම ගැන කෘතඥවීමට පොළඹවනවා."

ප්‍රාදේශීය වශයෙන් මෙවැනි "සංදර්ශනවල" යෙදෙන්නන් තැනූ වීඩියෝ බීබීසී හට දැකීමට ලැබිණි. මාංචු ලූ පුද්ගලයින්, බිම මුණින් තලාවීමට බලකිරීම්, පරීක්ෂා කිරීම් හෝ මෝටර් රියක බොනට්ටුව මත හෙළීම් යනාදිය එහි දැක්විණි.

මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී හා නින්දාසහගත දෙයින් ඈත්වීම සඳහා කෙනෙකු ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනවා. සිය සහකරුගේ යෝජනාව පිළිගැනීම ද ඊට අයත් බව මනෝ විද්‍යාඥ සොල්දතෝවා පවසන්නීය.

නමුත්, මොස්කව් හි සිය පස්වසරක කාලය තුළ පෙම්වතියක් සිය සහකරුව ප්‍රතික්ෂේප කළේ එක් අවස්ථාවකදී පමණක් බව සෙර්ගේයි සඳහන් කළේය.