කිම් ජොන්ග් අන්: "බේරී සිටීමට පහසු නොවන" මිසයිලයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දකුණු කොරියාවට කෙරෙන "බරපතළ අනතුරු ඇඟවීමක්" ලෙස හඳුන්වමින් උතුරු කොරියාව නවතම මිසයිල දෙකක් අත්හදා බැලුවේය.
මෙහි දී ඔවුන් විසින් දකුණු කොරියාව හඳුන්වනු ලැබුවේ "යුද්ධයට පොළඹවන දකුණු කොරියාව" යනුවෙනි.
උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට මෙම කෙටි-දුර විහිදුම් මිසයිල ගුවනට විද ඇති අතර ඒවා පතිත වූයේ නැගෙනහිර මුහුදට ය. එම සාගර කලාපය ජපන් මුහුද නමින් ද හැඳින්වේ.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් කියා සිටියේ "ඉදිරියේදී සිදුවිය හැකි සහ පවතින සෘජු තර්ජන මුලිනුපුටා දැමීම" වෙනුවෙන් ආයුධ තැනීම සඳහා තම රට බලහත්කාරයෙන් තල්ලු කර ඇති බවය.
මෙම අත්හදා බැලීමට උපායශීලී මෙහෙයවීමක් සහිත අවි පද්ධතියක් ද සම්බන්ධ බව උතුරු කොරියානු නායකයා පැවසීය.
ඔහුගේ මෙම ප්‍රකාශය උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරිණ.

මේ සියල්ල සිදු වූයේ, ලබන මාසයේ දී ඒකාබද්ධ යුද අභ්‍යාසයක යෙදීමට දකුණු කොරියාව සහ එක්සත් ජනපදය තීරණය කිරීමෙන් අනතුරුවය. එම තීරණය උතුරු කොරියාවේ විවේචනයට ලක් විය.
උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස දකින්නේ තම රට ආක්‍රමණය කිරීම සඳහා කෙරෙන පෙර සුදානමක් ලෙසට ය.
යුද අභ්‍යාස අවලංගු කිරීම දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ප්‍රතික්‍ෂේප කර ඇති නමුත් එය ප්‍රමාණාත්මකව අඩු කර ඇත.
උතුරු කොරියාව විසින් ඊයේ විදින ලද මිසයිලයක් කිලෝ මීටර 690ක් දුර පියාසර කොට පතිත වූ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ හමුදා මාණ්ඩලික නිලධාරියා ප්‍රකාශ කළේය.
මෙම මිසයිල "කෙටි-දුර විහිදුම් මිසයිල" බවට එක්සත් ජනපදය ද සනාථ කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, KCNA
කිම් ජොන්ග් අන් කීවේ මොනවා ද?
මෙම මිසයිලයෙන් "බේරී සිටීම එතරම් පහසු නොවන" බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි. නවතම අවි පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමා "තෘප්තිමත්" බව ද හෙතෙම පැවසීය.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ දකුණු කොරියාව මෙම "අනතුරු ඇඟවීම නොතකා සිටීමේ අත්වැරැද්ද" නොකළ යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙරට අතර ඇති උණුසුම සමනය කිරීම සඳහා මෙවැනි ක්‍රියා කිසිසේත් උපකාරී නොවන බව දකුණු කොරියාව පවසයි. මෙම මිසයිල අත්හදා බැලීම හමුදාමය තර්ජනයක් බව ද ඔවුහූ පැවසුහ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි 30 වන දා කිම් ජොන්ග් අන් හමුවීමෙන් අනතුරුව සිදු වූ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ. එම හමුව සිදු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය.
ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දිය හැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරේ.
පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන තිබේ.
වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ.
බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය.










