ස්මාර්ට් ජංගම දුරකතනවලින් හිත කියවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වෙයි

People play Pokemon GO game on their smartphones in New York City, NY on July 13, 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අප භාවිත කරන ස්මාර්ට් (සුහුරු) ජංගම දුරකතන මේ වන විට අපේ අනන්‍යතාවයේ කොටසක් බවට පත් වී තිබේ. බොහෝ දෙනෙක් එම උපාංග සමග දිනකට පැය පහකට අධික කාලයක් ගත කරයි.

එහෙත්, මේ ස්මාර්ට් ජංගම දුරකතන අප කවුරුන් ද යන වග පවසන්නේ කෙසේද?

ලින්කන් සහ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් කණ්ඩායමක් ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ෆෝන් භාවිත කරන්නන් 500 ට අධික පිරිසක් සිය ජංගම දුරකතන පිළිබඳව දක්වන ආකල්ප සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ, අප තෝරා ගන්නා ජංගම දුරකතන මගින් අපගේ පෞද්ගලිකත්වයේ ඇතැම් අංශ අනාවරණය වන බවය.

උදාහරණයක් වශයෙන්, ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිත කරන්නන්, අයි ෆෝන් භාවිත කරන්නන්ට වඩා අවංක පුද්ගලයින් බව පර්යේෂකයින් හඳුනාගෙන තිබේ.

එහෙත්, අයි ෆෝන් භාවිත කරන්නන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිත කරන්නන් සමග සැසඳීමේදී වැඩි වශයෙන් තාරුණ්‍යයට නැඹුරු වූවන් වන අතර ඔවුන් විවෘත මනසක් සහිත පුද්ගලයින් බව පර්යේෂකයෝ පවසති.

මේ ගැනත් කියවන්න:

Group of multicultural friends using smartphone outdoors

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අයි ෆෝන් සඳහා වැඩි ම කැමැත්තක් දක්වන්නේ කාන්තාවන් ය.

මෙම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ, පිරිමි පුද්ගලයින්ට වඩා දෙගුණයක් කාන්තාවන් අයි ෆෝන් භාවිත කරන බවය.

ඒ අනුව, ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන්ගෙන් බහුතර පිරිස වැඩිහිටි පිරිමි පුද්ගලයින් වෙති.

කෙසේ වෙතත්, ස්මාර්ට් ජංගම දුරකතනයක් මිල දී ගැනීම මගින් ඔබේ පෞද්ගලිකත්වය අනාවරණය කළ හැකි ද?

තවත් පුවත්:

Cropped shot of a woman taking a picture on her phone of her food

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පර්යේෂකයින් පවසන්නේ, යමෙකු භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකතනය ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය හෙළි කරන තෝරා ගැනීමක් ලෙස සැලකිය හැකි බවය.

"ස්මාර්ට් ජංගම දුරකතන එය භාවිත කරන්නන්ගේ ඩිජිටල් ආකෘතියක් බවට පත්වෙමින් තිබෙනවා," මෙම පර්යේෂණයේ සම කර්තෘවරියක වන හෙදර් ෂෝ පවසයි.

"අපි ගොඩක් අය කැමති නෑ වෙනත් කෙනෙක් අපේ දුරකතනය පාවිච්චි කරනවට. ඒ අපේ ස්මාර්ට් ජංගම දුරකතනය අප ගැන ගොඩක් තොරතුරු සපයන නිසයි."

අයි ෆෝන් භාවිතයට හුරු වී සිටින්නන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිත කරන්නන්ට වඩා ධනවත් පුද්ගලයින් නොවුව ද, අයි ෆෝන් භාවිත කරන්නන් එය සිය ධනවත්භාවය විදහා දක්වන උපකරණයක් ලෙස සලකන බව අධ්‍යයනයේදී හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනය කළ පර්යේෂකයින් එම පර්යේෂණය පමණක් සිදු කර නොනැවතී විශේෂ පරිගණක මෘදුකාංගයක් ද සකස් කර තිබේ. එම මෘදුකාංගය මගින් යම් පුද්ගලයෙකුගේ ලක්ෂණ අනුව ඔහු භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකතනය කුමක් ද? යන්න අනුමාන කරයි.