අවධානය යොමු නොකරම බැරි ආහාර: තනිව ආහාර ගැනීමට හේතු අටක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තනිව ආහාර ගැනීම සෑම දෙනෙකුම සිදු කරන ක්‍රියාවක් නොවේ.
සමහර පුද්ගලයන්ට මෙය ඉතා නීරස ක්‍රියාවකි. තවත් සමහරු මෙය දකින්නේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් ලෙස වන අතර, අන් අය සමග ආහාර ගැනීමට ආරාධනා පවා නොලැබෙනු ඇතැයි සිතන්නේය.
නමුත් මේ ගැනත් සලකා බැලීම වැදගත් වේ :
- එක් පුද්ගලයෙකු පමණක් ජීවත් වන නිවාසවල වැඩිවීමක් ලෝකය තුළ දක්නට ලැබේ. ලෝකය පුරා මිලියන 300ක පිරිසක් තනිව ජීවත් වේ (එක්සත් ජාතීන්, OECD සහ යුරෝස්ටැට් දත්ත ඇසුරෙනි).
- ඔබ අන් අය සමග ජීවත් වූවත්, වර්තමාන වැඩිහිටි ජනතාවගෙන් අඩක් ආහාර ලබාගන්නේ තනිවමය.
දිවියේ කිසියම් දිනක තනිව ආහාර ගැනීමට සිදුවන නිසා, එය අගය කිරීමට අප පුරුදු විය යුතුය.
තනිව ආහාර ගැනීම හොඳ ක්‍රියාවක් බවට පත්වන හේතු අටක් පිළිබඳ විස්තර බීබීසී සේවයේ ශීලා ඩිලන් මෙසේ ඉදිරිපත් කර සිටී.
1. ඔබට කැමති ස්ථානයක සිට ආහාර වැළඳිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- තනිව ආහාර ගැනීමේ දී ඔබ ප්‍රිය කරන ආහාරයක් වැළඳිය හැකි අතර, අන් අයගේ කැමැත්ත ගැන සිතීමට අවශ්‍ය නැත.
- ඔබ දැඩි ගන්ධයක් විහිදෙන ආහාරයකට විශේෂ කැමැත්තක් දක්වන්නෙකු විය හැකිය. උදාහරණයක් ලෙස දූරියන්, විවිධ කරෝල මාළු වර්ග, එළිමහන් ස්ථානයක සිට ආහාරයට ගැනීම සුදුසුය.
- එසේත් නැත්නම් ඔබ කාබෝහියිඩ්‍රේඩ අධික ආහාරවලට ප්‍රිය කරන්නෙකු විය හැකිය. බත්, අල හෝ පැස්ටා පිරුණු විශාල පිඟානක් කාර්යාලය තුළ දී ආහාරයට ගැනීමෙන් අපහසුතාවට පත් වේ යැයි බියෙන් පසුවෙනවා වන්නට ද පුළුවන.
- තනිව ආහාර ගන්නා විට ඔබේ ආහාර රුචිකත්වය පිළිබඳ නිගමනවලට එළැඹීමට කිසිවෙකුත් නොමැති නිසා තමන් ප්‍රිය කරන විවිධ රස එකට එකතු කර ආහාර අනුභව කළ හැකිය. අවශ්‍යනම් මිරිස්, ජෑම් සහ බේකන් මිශ්‍රණයක් යෙදූ පාන් පෙත්තක රස බැලිය හැකිය.
- අවදානමක් ගෙන තමන්ට කැමති රස එකට මිශ්‍ර කර නවතම වට්ටෝරුවකට ආහාර අත්හදා බැලිය හැකි වන අතර, එය වැරදුනහොත් වෙනත් අයෙකුගේ ආහාර වේලක් කඩාකප්පල් වන්නේ ද නැත.
- ගැඹුරු තෙලෙන් බැදපු පිට්සා, ලුණු සහ කැරමල් රස එකට මිශ්‍ර වූ කිරි වැනි ආහාර බොහෝදෙනා ඉතා කැමැත්තෙන් වැළඳගත්තා සේ, ඔබේ නවතම සොයාගැනීම් ලෝක ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වන්නට ද පුළුවන.
2. ඔබට ආහාර බෙදා ගැනීමට සිදු නොවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමහර විට දීර්ඝ කාලයක් පුරා ඔබ සිහින මවමින් සිටි ඉතා ප්‍රණීත ආහාරයක් ඇණවුම් කළ පසු, ඔබේ මිතුරන් සියලුදෙනාට එහි රස බැලීමට අවශ්‍ය වනු ඇත. අවසානයේ ඔබට ඉතිරි වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් වන්නට පුළුවන.
ආහාර එකිනෙකා අතර බෙදා ගැනීම ඉතා හොඳ ක්‍රියාවකි. නමුත්, ඔබ දැඩි කැමැත්තෙන් සිටි කුකුල් මස් ව්‍යංජනයෙන් 20% ක් නැති වී ඒ වෙනුවට මාළු කැබලි කීපයක් ආහාරයට ගැනීමට සිදු වීම ඒ තරම් සතුටුදායක අවස්ථාවක් නොවන්නේය.
තනිව ආහාර ගැනීමෙන් ඕනෑවට වඩා නිශ්ශබ්ද වටපිටාවක් නිර්මාණය වන නමුත්, තමන් ප්‍රිය කරන ආහාර වේලෙන් කොටසක් හෝ අහිමි නොවන ලෙස එය නිදහසේ රස විඳිය හැකිය.
3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම පහසු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට ප්‍රිය කරන්නේ නම්, තනිව ආහාර ගැනීමෙන් එය අනුගමනය කිරීම පහසු වේ.
අන් අය සමග ආහාර ගැනීමේ දී තමන් අනුගමනය කරන සෞඛ්‍ය සම්පන්න ආහාර වේල මඟහැරීමට 60%ක ප්‍රවණතාවක් ඇති බව ඇමරිකානු හදවත් සංගමය සිදු කළ ගවේෂණයකින් හෙළි විය.
එමෙන්ම, එකට ආහාර ගැනීමේ දී පුද්ගලයෙකු සාමාන්‍ය ප්‍රමාණයට වඩා 40%ක් වැඩිපුර ආහාර අනුභව කරන අතර, මේදය අධික ආහාර ද ලබා ගන්නා බව ජෝජියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්ෂණයක සඳහන් වේ.
තෙල් සහ කිරි අධික ආහාර විශාල ප්‍රමාණයක් වැළඳීමට ඔබේ යහළුවන් හෝ ඥාතීන් බල කර සිටින්නේ නම්, හැකි අවස්ථාවල තනිව ආහාර වේලක් ලබා ගැනීම වඩාත් සෞඛ්‍ය සම්පන්නය.
යම් පුද්ගලයෙකු සිය වාහනය තුළ හිඳ ආහාර ලබා ගන්නා විට එය ඉතා කෙටි වන බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. නමුත් වාහනයක් තුළ ආහාර වේලක් නිදහසේ රස විඳීම ඉතා අපහසුය.
මේ තොරතුරුද කියවන්න:
4. ඔබට පහසු ආකාරයකට හැසිරෙමින් ආහාර ලබා ගත හැකිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප නිතරම අනෙක් පුද්ගලයාගේ හැසිරීමට අනුගත වෙමින් අපහසුවෙන් ආහාර ගැනීමට පෙළඹෙන බව සමීක්ෂණවල වැඩි දුරටත් සඳහන් වේ.
තවත් සමීක්ෂණයක සඳහන් වන පරිදි, කාන්තාවෝ දෙදෙනෙක් එකට සිට ආහාර ගැනීමේ දී බොහෝ විට එකිනෙකා අනුගමනය කිරීමට පෙළඹෙති. එය කෙතරම් දුරකට සිදු වන්නේ ද නම්, එක් කාන්තාවක් ආහාර මුඛයට දමා ගන්නා ආකාරය බලා සිට එම හැසිරීම අනුගමනය කරමින් අනෙකා ආහාර ලබා ගන්නේය.
නමුත්, තනිව ආහාර ගැනීමෙන් ඔබට පහසු ආකාරයට හැසිරෙමින් අවශ්‍ය ප්‍රමාණය පමණක් අනුභව කළ හැකිය.
කෙසේවෙතත්, රූපවාහිනිය ඉදිරියේ සිට ත්‍රාසජනක වැඩසටහන් සහ සිනමාපට නරඹමින් ආහාර ලබා ගැනීමේ දී ප්‍රවේසම් විය යුතුය. රූපවාහිනී වැඩසටහන් නැරඹීම පුද්ගලයෙකුගේ ආහාර රටාවට සෘජුවම බලපාන්නේය.
5. ආහාර වේලක රස ගැන අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තනිව ආහාර ගැනීමෙන් එහි රස පිළිබඳ ඔබේ සම්පූර්ණ අවධානය යොමු වේ.
එමඟින්, තමරාගේ නව වාහනය ගැන පුරාජේරු අසමින් හෝ නිමල්ගේ ව්‍යාපාරය ගැන වර්ණනාවලට කන් දෙමින් ආහාර ලබා ගැනීමට සිදු නොවේ. ඒ වෙනුවට, ආහාරවල අඩංගු රසකාරක සහ මිශ්‍රණ රිසි සේ රස විඳිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
6. අවට ලෝකය රස විඳිමින් ඔබට ආහාර ලබා ගත හැකිය
යම් පුද්ගලයෙකුට තනිව ආහාර ගැනීමට පුරුදු වීම අපහසු වනු ඇත. නමුත් එම පුරුද්ද වැඩි දියුණු කරගත් පසු නිවසට කොටු නොවී, සැබෑ ලෝකය තුළ සිදුවන දෑ නරඹමින් ආහාර ගැනීමට අවස්ථාව සැලසේ.
තම සේවාදායකයන්ගේ අවධානය නිතර යම් දෙයකට යොමු කර තැබීමට බොහෝ අවන්හල් ක්‍රියා කරයි. එම නිසා, ඔබව හිස් ආසනයක් ඉදිරියේ හිඳුවනවා වෙනුවට මුදල් අයකැමි හෝ වටපිටාව පෙනෙන ස්ථානයක අසුන් ගැන්වීමට ඔවුහු සලස්වති.
ලෝකය පුරා තනිව ආහාර ගැනීමට ප්‍රිය කරන පුද්ගලයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන හෙයින්, ඔබ තනිව සිටීම ගැන තවදුරටත් කනගාටු වන්නට අවශ්‍ය නැත.
බ්‍රිතාන්‍යයන්ගෙන් 87% ක් තනිව ආහාර ගැනීමට ප්‍රිය කරන බව පවසා ඇත.
පසුගිය වසර දෙක තුළ තනිව ආහාර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව 'Open Table' නම් ජාත්‍යන්තර අවන්හල් සමාගම සිදු කළ සමීක්ෂණයක සඳහන් වන්නේය.
7. අනෙක් අය ආහාර වළඳන ශබ්දයට කන් දීමට සිදු නොවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තනිව ආහාර ගැනීමට පුරුදු වීමෙන්, තවත් අයෙකු ශබ්ද නගා ආහාර ලබා ගැනීම නිසා ඇතිවන අප්‍රසන්න හැඟීමෙන් ඉවත්ව සිටීමට පුළුවන.
සමහර පුද්ගලයන් ශබ්ද නගා ආහාර සැපීම, ගිලීම සහ තළුමැරීම සිදු කරන නිසා අන් අය බොහෝ අපහසුතාවට පත් වේ.
සමහරු ශබ්දවලට දැඩි අකමැත්තක් දක්වන අතර, ඔහු හෝ ඇය 'මිසොෆෝනියා' (misophonia) නැමැති මානසික රෝගයෙන් ද පෙළෙනවා විය හැකිය. මිසොෆෝනියා නම් රෝගය ඇත්තන් "ශබ්දවලට වෛර" කරන පුද්ගලයෝ වෙති. එවන් පුද්ගලයෙකු අන් අය ආහාර වළඳන ශබ්දයට දරුණු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත.
8. ඔබ කැමති වේලාවක, කැමති ස්ථානයක සිට ආහාර ලබා ගත හැකිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබට අවශ්‍ය නම් උදෑසන 5 ට අවදි වී ගැඹුරු තෙලෙන් බැදපු යමක් ආහාරයට ගැනීමට හෝ වැසිකිළියේ සිට තේ පානය කරමින් පාන් පෙත්තක රස බැලීමට ද පූර්ණ නිදහස ඇත.








