රත්‍රන් පදම් කළ කුකුළු මස්, පීසා සහ ඩෝනට්: අධික මිලැති "රත්‍රන් ආහාර"

Gold Food

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඇමරිකානු ආපනශාලාවක් කැරට් 24 රත්‍රන් දියරයෙන් පදම් කළ කුකුළු මස් විකිණීම ආරම්භ කර තිබේ.

ඩොලර් 1,000ක් ඔබ සතු නම් එම කුකුළු මස් පිඟාන මිලදී ගත හැකිය.

නොඑසේනම් රනින් පදම් කළ කුකුළු මස් සකස් කරගන්නේ මෙසේය:

ප්‍රථමයෙන් කුකුළු මස් කැබලිවලට ලුණු ඉස, පදම් වීම සඳහා පැය දොළහක කාලයක් තැබිය යුතුය. ඉන්පසු නිවසේ සාදා ගත් කුළුබඩු යොදා බැදගත් මස් කැබලි රත්‍රන් දියරයෙන් (පැණි සහ බාබෙකියු සෝස් මිශ්‍ර කළ) වසා එයට ඉහළින් තවත් රත්තරන් කුඩු තට්ටුවක් ඉස ගත යුතුය.

Gold Chicken

ඡායාරූප මූලාශ්‍රය, Instagram/foodgod

ඔබ ඉතා වෙහෙස වී සොයා ගත් ඩොලර් 1,000ක් මෙම ආහාරය වෙනුවෙන් වියදම් කිරීමට හැකිනම් රත්‍රන් කුකුළු මස් කැබලි පනහක් සහ රත්තරන් බෝතලයක බහාලූ 'Ace of Spades' (ඒස් ඔෆ් ස්පේඩ්ස්) නම් ෂැම්පේන් වර්ගය මිලදී ගත හැකිය.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන 'කේසි නීස්ටැට්' මෙම රත්‍රන් කුකුළු මස් කැබලි ආහාරයට ගැනීමෙන් පසු ඒ පිළිබඳ සිය අදහස් දක්වමින් පැවසුවේ, "ඒවායේ ඇඹුල් රසක් තිබෙනවා. ඒ වගේම, යකඩ සහ රත්තරන් රසකුත් මිශ්‍ර වෙලා තිබෙනවා," බවය.

"කුකුළු මස් කැබලි මට පෙනෙන්නේ සාමාන්‍ය ආහාරයක් විදියට. නමුත් රත්‍රන් කුකුළු මස් ඉතා විශ්මයජනක දෙයක්," යැයි කේසි නීස්ටැට් සමග යූ ටියුබ් චැනලය පවත්වාගෙන යන 'ෂෝන්' පැවසීය.

Gold Food

ඡායාරූප මූලාශ්‍රය, Instagram/field18

මේ කුකුළු මස් ඉතා අමුතු දෙයක් වුවත්, ඒවා "ඉතා රස" බව ඔහු තවදුරටත් පැවසුවේය.

2016 දී ඇමරිකාවේ බ්රූක්ලීන් ප්‍රදේශයේ පිහිටා තිබූ පිලිපීන ආපනශාලාවක රත්තරන් ආලේපිත 'ඩෝනට්' වර්ගයක් නිෂ්පාදනය කළේය. එය එතරම් සාර්ථක නොවූ අතර පසුව අපනශාලාව වසා දැමීමට කටයුතු කර තිබුණි.

නමුත් රත්තරන් ඩෝනට් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ආපනශාලා පරිශ්‍රයේ DJ සංගීත සහ ඩෝනට් රාත්‍රී සාද පවත්වන්නේය.

Gold Ice cream

ඡායාරූප මූලාශ්‍රය, Instagram/snowopolisco

මිලෙන් අධික 'ක්‍රිස්ටල් ෂැම්පේන්' සහ කැරට් 24 රත්‍රන් යොදා අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තවත් ඇමරිකානු ආපනශාලාවක් කටයුතු කර තිබිණි.

එවැනි අයිස්ක්‍රීම් දොළහක මිල ඩොලර් 1,200ක් පමණ වේ.

කුකුළු මස්, ඩෝනට්, අයිස්ක්‍රීම් පමණක් නොවේ; රත්‍රන් දැමූ පිසා සෑදීමට පසුගියදා නිව්යෝර්ක් හි ආපනශාලාවක් කටයුතු කළේය.

Gold pizza

ඡායාරූප මූලාශ්‍රය, Instagram/nybucketlist

මෙම පීසාවකට කැරට් 24 රත්‍රන් කුඩු ඉස ඇති අතර, එය ඇමරිකානු ඩොලර් දෙදහසකට විකිණී තිබේ. නමුත් එම රත්‍රන් කුඩුවලට යටින් සාමාන්‍ය පීසාවක දැකිය හැකි චීස්, කොල වර්ග, මස් වර්ග සහ කුළුබඩු දක්නට තිබුණි.

මේ තොරතුරුද කියවන්න: