ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි 20% කට ඩිමෙන්ෂියා - මුල් ලක්ෂණවලදී සැලකිලිමත් වීම වැදගත් බව වෛද්‍යවරු පවසති

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය අවුරුදු 50 ඉක්මවූවන් අතර සුලභ සහ වර්ධනය වන රෝගී තත්ත්වයකි.

මෙම රෝගයෙහි විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ උග්‍ර වීමට පෙර එය හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමයි.

වෛද්‍යවරුන් පවසන්නේ, රෝගය කල්තබා හඳුනාගැනීමට අපහසු හෙයින් නිසි ප්‍රතිකාර ලබා දීමේදී ගැටලු මතු වන බවය.

"සුබ ආරංචියක්"

කෙසේ වෙතත්, රෝග ලක්ෂණ මතු වීමට පෙර මිනිත්තු 5 ක ස්කෑන් කිරීමකින් ඩිමෙන්ෂියා අවදානමක් තිබේදැයි හඳුනාගත හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය කර තිබේ.

විද්‍යාඥයින් පිරිසක් පුද්ගලයින් 3000 කට අධික පිරිසකගේ ගෙළ ප්‍රදේශයේ පිහිටි රුධිර නාලිකා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂා කර මෙම රෝග ලක්ෂණ හඳුනාගත හැකි බව තහවුරු කර ඇත. ඒ අනුව ඊළඟ වසර 15 පුරා ඔවුන් සමීපව නිරීක්ෂණය කරනු ඇත.

මේ අනුව, මතක ශක්තිය හීන කෙරෙන සංජානනීය අවහිරතා කල්තබා හඳුනාගැනීමට මෙම පරීක්ෂාව අනුව හැකි වනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

තවදුරටත් කියවන්න:

ඩිමෙන්ෂියා රෝගය යනු කුමක් ද?

ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්තය, වයස අවුරුදු 50 ඉක්මවූ ඕනෑ ම පුද්ගලයෙකුට වැළඳීමට ඉඩකඩ ඇති රෝගයකි.

මෙය ඇති වන ප්‍රධාන ක්‍රම දෙකක් ඇතැයි කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන් කුමානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

N. KUMANAYAKE

ඡායාරූප මූලාශ්‍රය, N. KUMANAYAKE

ඡායාරූප ශීර්ෂ වැකිය, මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක

"එක ක්‍රමයක් තමයි ඇල්සයිමර් ඩිමෙන්ෂියා. ඒක ඇති වෙන්නේ, අසාමාන්‍ය ප්‍රෝටීනයක් මොළයේ සෛලවල තැන්පත් වී එම සෛල දිරාපත් වීම නිසා."

එම සෛල දිරාපත් වීම හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වන බව ඔහු සඳහන් කළේය.

ඩිමෙන්ෂියා රෝගයට බලපාන දෙවන හේතුව රුධිර නාලිකාමය ඩිමෙන්ෂියා තත්ත්වය බව වෛද්‍ය කුමානායක පවසයි.

තවත් පුවත්:

"දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති රෝගීන්ගේ මොළයේ රුධිර වාහිනී අවහිර වීමෙන් ඇති වන රෝගී තත්ත්වය දෙවන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ලෙස හඳුන්වනවා."

ඒ අනුව, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය වර්ධනය විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඩිමෙන්ෂියා රෝගයේ ලක්ෂණ මොනවා ද?

  • නම්, ගම් අමතක වීම
  • නිවසට යන මාර්ගය අමතක වීම
  • දුරකතන අංක අමතක වීම

ඉහත දක්වා ඇති අමතක වීම් වැනි කරුණු ඩිමෙන්ෂියා රෝගීන් වෙතින් පළ වන බව වෛද්‍ය එන් කුමානායක පැවසීය.

කෙසේ වෙතත්, මෙවැනි ලක්ෂණ මුල් කාලයේදී ම හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ඉල්ලා සිටී.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "කාබනික පොහොර පමණක් යෙදූ නැවුම් ආහාර වැඩිපුර පරිභෝජනය කිරීමට පෙළඹීම අතිශය වැදගත්"

වැඩි බලපෑම කාට ද?

වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසුව මතු වන මෙම රෝගී තත්ත්වය උග්‍ර වන්නේ, වයස අවුරුදු 65 පමණ වන විටය.

මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය කුමානායක ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 65 සිට 80 දක්වා ජනගහනයෙන් 5% ක ප්‍රතිශතයක් ඩිමෙන්ෂියා රෝගීන් වන අතර වයස අවුරුදු 80 ඉක්මවූ ජනගහනයෙන් 20% ක් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය.

ඊට අමතරව දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නන්ට ද මෙම රෝග තත්ත්වයට මුහුණ පෑමට සිදුවන බව ඔහු සඳහන් කළේය.

ඩිමෙන්ෂියා රෝගයෙන් වැළකිය හැකි ද?

වෛද්‍යවරුන් පවසන ආකාරයට ඩිමෙන්ෂියා ඇතුළු මානසික රෝග රැසකට අප ගන්නා ආහාර හේතු වෙයි.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග හේතුවෙන් මොළයේ රුධිර නාලිකා අවහිර වීම මානසික රෝගී තත්ත්වයන් රැසකට හේතු වී ඇතැයි වෛද්‍ය එන් කුමානායක පවසයි.

SRI LANKA MEDICAL NUTRITION ASSOCIATION

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA MEDICAL NUTRITION ASSOCIATION

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති වෛද්‍ය රේණුකා ජයතිස්ස

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඒකාකාරී ආහාර රටාවලින් මිදී විවිධත්වයෙන් යුතු ආහාර පරිභෝජනයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ගැටලු අවම කර ගත හැකි බවය.

ඒ සඳහා, "කාබනික පොහොර පමණක් යෙදූ නැවුම් ආහාර වැඩිපුර පරිභෝජනය කිරීමට පෙළඹීම අතිශය වැදගත්" බව ඇය ප්‍රකාශ කළාය.