ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දුනීසියාව: දූරියන් තොගයක් ගුවන් යානයක් ආපසු හරවයි
දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
ඒ, ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙනි.
ජාකර්තා සිට බෙංකුලු දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ භාණ්ඩ රඳවනය තුළ ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් ටොන් දෙකක් පමණ තිබිණි.
දූරියන් තොගය ඉවත් කරන ලෙසට ගුවන් යානයේ සිටි මගීන් ඉල්ලා ඇති අතර ඒ අතරතුර කෝපයට පත් මගීන් කාර්ය මණ්ඩලයට පහර දීමට පවා පෙළඹී තිබේ.
මෙම තත්ත්වය හමුවේ අවසානයේ එම දූරියන් තොගය ගුවන් යානයෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.
මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුවන් යානය ගුවන්ගත කරන ලද්දේ, පැයකට පමණ කාලයකට පසුවය.
එම ගුවන් යානය අයත් Sriwajiya ගුවන් සමාගම පසුව පැවසුවේ, පලතුරු රැගෙන යාමට සිය සමාගමට අයිතියක් ඇති බවය.
"ගුවන් සේවා රෙගුලාසි අනුව නිසි පරිදි ආවරණය කරපු දූරියන් ගුවන් යානයක ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී දෙයක් නෙවෙයි. ගොඩක් ගුවන් සමාගම් එය කරනවා" ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු Jakarta Post පුවත්පතට පවසා තිබිණි.
කටු සහිත දැඩි ගන්ධයකින් යුත් පලතුරක් වන දූරියන් ආසියානු රටවල ප්‍රණීත ආහාරයක් බවට ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහෙත්, එම සුවිශේෂී පලතුරට කොටසක් බෙහෙවින් කැමත්තක් දක්වන අතර තවත් කොටසක් ඊට බෙහෙවින් අකමැත්තක් දක්වති.
මේ හේතුවෙන්, ඇතැම් රටවල පොදු ප්‍රවාහන සේවය, හෝටල් සහ ගුවන් යානාවල දූරියන් ප්‍රවාහනය කිරීම තහනම් කර තිබේ.