වයසට යන විට ශරීර අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් 9ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
"ජීව විද්‍යාත්මකව සැලකුවොත් වයස්ගත වීමට අදාළව කිසි ම යහපත් තත්ත්වයක් මට නම් පේන්නේ නෑ"
එලෙස අදහස් දක්වන්නේ, ස්පාඤ්ඤයේ පිළිකා පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ වෛද්‍ය මැනුවෙල් සෙරානෝ යි.
ඔහු, කාලය ගත වීමත් සමග අපගේ ශරීරාභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් The Signs of Ageing නමැති නව අධ්‍යයනය සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකි.
"ඒවා කිසි ම අකාරයකින් වළක්වන්න පුළුවන් දේවල් නෙවෙයි" වෛද්‍ය සෙරානෝ බීබීසී පුවත් සේවයට පැවසීය.
"ජීවන රටාවට හෝ ප්‍රවේණිගත ශක්තීන්ට ස්තුතිවන්ත වෙන්න සමහර දේවල් අඩුවැඩි වෙන්න පුළුවන්. ඒත් ඒවා සිද්ධ වෙන එක දිගට ම වෙනවා"
මිනිසුන් ඇතුළු ක්ෂීරපායීන්ගේ වයස ගත වීමත් සමග සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස්කම් 9ක් පහත දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1. DNA හානියට පත් වීම
DNA යනු ශරීරයේ ඇති ඉතා කුඩා සෛල අතර සම්ප්‍රේෂණය වන ප්‍රවේණිගත කේතයකි.
වයස්ගත වෙත් ම ඒවායේ ක්‍රියාවලියෙහි දෝෂ මතුවේ.
මෙම දෝෂ සෛල අතර එක් රැස් වේ.
මෙය ප්‍රවේණි අස්ථාවරත්වය ලෙස හැඳින්වේ. මේ හේතුවෙන් ප්‍රාථමික සෛලවලට බලපෑම් එල්ල වේ. අනෙක් සියලු සෛලවල විශේෂ කාර්යයන් උපදින්නේ, ප්‍රකෘති සෛල තුළය.
ඒ අනුව, ප්‍රවේණි අස්ථාවරත්වය නිසා ප්‍රකෘති සෛලවල ක්‍රියාකාරීත්වයට හානි විය හැක.
එම දෝෂ වර්ධනය වීමෙන් සෛල පිළිකාවකට හැරීමට ද හැකියාව පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty
2. වර්ණ දේහ ඉවත් වීම
DNA අණුවල අග ආවරණ කොටස් පවතින අතර අපගේ වර්ණදේහ ආරක්ෂා වන්නේ එම ආවරණ මගිනි. (එය සපත්තු ලේස් එකක අග ඇති ප්ලාස්ටික් ආවරණය වැනි දෙයකි)
ඒවා හඳුන්වන්නේ telomeres ලෙසයි. අප වයසට යන විට මෙම ආවරණයන් ගෙවී යන අතර වර්ණදේහවලට පැවති ආරක්ෂාව අඩු වෙයි.
එයින් සිදු වන්නේ වර්ණදේහ ක්‍රියාකාරීත්වයෙහි දෝෂ ඇති වීමයි. මේ හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක.
DNA අණුවල අග ආවරණ කොටස් වර්ධනය කළ හැකි බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
3. සෛල ක්‍රියාකාරීත්වයට හානි සිදු වීම.
DNA expression යනුවෙන් ක්‍රියාවලියක් අපගේ ශරීර තුළ සිදුවේ. කිසියම් සෛලයක් තුළ ඇති ජාන දහස් ගණනක් එක්ව එම සෛලය ක්‍රියාකළ යුතු ආකාරය (සමේ සෛලයක් ලෙස, එසේ නැතහොත් මොළයේ සෛලයක් ලෙස ක්‍රියාකරනවා ද යන්න) තීරණය කරයි.
එම තීරණ ලබා දීමේ ක්‍රියාවලිය කාලය සහ ජීවන රටාව අනුව වෙනස් වේ.
4. සෛල ප්‍රතිජීවනය වීමේ හැකියාව අඩු වෙයි
හානි වූ සෛල ශරීරය තුළ රැඳීම වැළැක්වීම සඳහා සෛල ප්‍රතිජීවනය කිරීමේ හැකියාව අපේ ශරීරවල පවතී.
එහෙත්, වයසත් සමග එම හැකියාවන් මන්දගාමී වේ.
එවැනි තත්ත්වයකදී අපගේ සිරුරුවල හානියට පත් සෛල තැන්පත් වන අතර, ඒවා නිසා ඇල්සයිමර්ස්, පාකින්සන් සහ ඇසේ සුද වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
5. සෛල පරිවෘත්තීය හැකියාවන් පාලනයෙන් ගිලිහීම
වයසට යාම හේතුවෙන් මේද සහ සීනි වැනි සංයෝග දහනය කර වෙනත් ශක්තීන් බවට පරිවර්තනය කිරීම සඳහා සෛලවලට ඇති හැකියාව අඩු වෙයි.
එවැනි තත්ත්වයන්වලදී දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු විය හැකිය.
වයස සමග බැඳි පවතින දියවැඩියා රෝගය බහුලව ඇති වන්නේ මේ හේතුවෙනි. වයස්ගත පුද්ගලයින්ගේ ශරීර ක්‍රියාවලිය තුළ ඔවුන් ගන්නා සියලු ආහාර දහනය කිරීමේ ක්‍රියාවලිය හොඳින් සිදු නොවේ.
6. Mitochondria අක්‍රිය වීම
Mitochondria යනු සෛලයකට ශක්තිය සපයන කොටසයි. වයස ගත වන විට එහි ප්‍රබලත්වය අඩු වෙයි.
එහි ක්‍රියාකාරීත්වය දෝෂසහගත වූ විට DNA අණුවලට හානි සිදු වේ.
ඇතැම් පර්යේෂණවලට අනුව Mitochondria ප්‍රතිසංස්කරණය කිරීමෙන් ක්ෂීරපායින්ගේ ජීවන කාලය වැඩි කර ගත හැකි බව පවසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
7. සෛල සතුරන් බවට පත් වීම.
යම් සෛලයක් වඩාත් හානියට පත් වූ විට එම සෛලය වෙනත් දෝෂසහිත සෛල වර්ධනය වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක නොවේ.
එම සෛල වෙනත් සෛල නිපදවීම ද නතර කරන අතර විනාශ වන්නේ ද නැත.
මෙම හානි වූ සෛල අනෙක් සෛලවලට ද හානිකර විය හැකිය.
8. ප්‍රකෘති සෛල ශක්තියෙන් තොර වීම.
වයස සමග සම්බන්ධ පැහැදිලි ම ලක්ෂණයක් වන්නේ, සෛලවල ප්‍රතිජීවන ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩු වී යාමයි.
වයසට යාමත් සමග ප්‍රකෘති සෛල ක්‍රමයෙන් වෙහෙසට පත්වන අතර ප්‍රතිජීවනය කිරීමේ හැකියාව අඩුවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
9. සෛල අතර සන්නිවේදනය ඇණ හිටීම
සෛල අතර නිරන්තරයෙන් සන්නිවේදනයක් සිදු වන අතර වයස ගත වන විට එම හැකියාව පහළ යයි.
මේ හේතුවෙන් ශරීරය තුළ විවිධ ගැටලු මතු වෙයි.
සන්නිවේදනය ඇණ හිටීමෙන් වෙනත් හානිකර සෛල සම්බන්ධයෙන් අවධානය රඳවාගැනීම ගිලිහී යයි.
වෛද්‍ය සෙරානෝ පවසන්නේ, ශරීරාභ්‍යන්තර වයස්ගත වීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම හරහා ශරීර අවයව හා පටක සාමාන්‍යයෙන් දුර්වලත්වයට පත්වන වේගය ඖෂධ මගින් පාලනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි වනු ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
මෙම ක්‍රියාවලිය වැළැක්විය නොහැකි වුව ද, "සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්" පවත්වාගෙන යාමෙන් එය යම් ආකාරයකට පාලනය කර ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
"වර්තමානයේ වයස්ගත පුද්ගලයින් මීට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා ධනවත් වගේ ම සෞඛ්‍ය සම්පන්නයි. අපිට කරන්න තියෙන හොඳ ම දේ තමයි අපි වයසට යමින් සිටියදීත් ජීවිතය සතුටින් ගත කරන එක"








