Fields Medal: එක්සත් රාජධානියේ සරණාගත මහාචාර්යවරයාට ගණිතය වෙනුවෙන් ලැබුණ ඉහළම පදක්කම බ්‍රසීලයේදී සොරා ගනී

Fields Medal

ඡායාරූප මූලාශ්‍රය, UNI CAMBRIDGE

ඡායාරූප ශීර්ෂ වැකිය, කුර්දි ජාතිකයෙකු වන මහාචාර්ය කවුචර් බිර්කාර් (Caucher Birkar) ඉරානයේ සිට එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ සරණාගතයෙකු ලෙසය

ගණිත විෂය වෙනුවෙන් පිදෙන ඉහලම සම්මානයකට හිමි කම් කී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ පදක්කම බ්‍රසීලයේදී සොරකම් කර තිබේ.

මෙම සම්මානය හඳුන්වන්නේ 'ෆීල්ඩ්ස් මෙඩ්ල්' (Fields Medal) යනුවෙනි.

කුර්දි ජාතිකයෙකු වන මහාචාර්ය කවුචර් බිර්කාර් (Caucher Birkar) ඉරානයේ සිට එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ සරණාගතයෙකු ලෙසය. ඔහු ගණිත විෂයට සිදුකළ සේවය වෙනුවෙන් ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානයට පාත්‍ර වූ ගණිතඥයන් හතර දෙනා අතරින් කෙනෙකි.

නමුත් සම්මානය දිනාගෙන මිනිත්තු කීපයක් ගත වෙද්දී, කැරට් 14 රත්‍රන්වලින් තැනූ පදක්කම නැති වී ඇති බව ඔහුට ඒත්තු ගියේය.

මෙම පදක්කම ඔහු සිය පසුම්බිය සහ ජංගම දුරකථනයත් සමග බෑගයක දමා උත්සවය පැවැත්වෙන ශාලාවේ මේසයක් මත තැබූ බව බ්‍රසීල රූපවාහිනී මාධ්‍යයක් වන TV Globo වාර්තා කර සිටී.

ඔහු වහාම ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඔවුන් කළ සොයා බැලීමකදී බෑගය හමු වූවත් පදක්කම සහ පසුම්බිය හමු වී නැත.

කවුද මේ කවුචර් බිර්කාර්?

කවුචර් බිර්කාර් උපත ලබා ඇත්තේ ඉරාන-ඉරාක මායිමේ ඇති කුර්දිස්තාන පළාතක පිහිටි ගොවිපළකය. 1980 වර්ෂවල අට වසරක් පුරා පැවති ඉරාන-ඉරාක යුද්ධය මධ්‍යයේ ඔහු හැදී වැඩී තිබුණි.

ඔහු තරුණ කාලයේදී සම්බන්ධ වී සිටි ටෙහෙරාන් නගරයේ ගණිත සංගම් ගොඩනැගිලි බිත්තිවල ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානලාභීන්ගේ ඡායාරූප එල්ලා තිබෙණු දුටු බව කවුචර් බිර්කාර් Quanta සඟරාවට පවසා තිබේ.

" 'මට මේ අය අතරින් කෙනෙක් කවදා හරි මුණගැසෙයිද?' කියලා මම ඒ පිංතූර දිහා බලාගෙන මටම කියාගත්තා. ඉරානයේ ඒ කාලේ තිබුණ තත්වය හැටියට, මම දැනගෙන හිටියේ නැහැ බටහිර රටකට යන්න ලැබේද කියලවත්," ඔහු පැවසීය.

Fields Medal

ඡායාරූප මූලාශ්‍රය, IMU

ටෙහ්රාන් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටින අතරතුර ඔහු එක්සත් රාජධානියට සංචාරය කර එහි දේශපාලන සරණාගතභාවය ලබා ගත්තේය.

කාලය ගෙවී යනවාත් සමග ඔහු ගණිතයට දැක්වූ විශේෂ දක්ෂතා නිසා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, 'Leverhulme Prize' නම් තවත් ගෞරවනීය සම්මානයකින් පිදුම් ලබා ඇත.

සෑම වසර හතරකට වතාවක් විශේෂ දක්ෂතා දක්වන වයස අවුරුදු 40ට අඩු ගණිතඥයෙකු මෙම ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානයෙන් පිදුම් ලබයි.

මේ තොරතුරුද දැනගන්න: