උතුරු කොරියාවෙන් නිදහස ලැබූවන්ට ජනපති ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්

නිදහස ලද සිරකරුවන් තිදෙනා

ඡායාරූප මූලාශ්‍රය, Reuters/AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස ලද ඇමෙරිකානු සිරකරුවන් තිදෙනා

උතුරු කොරියාව විසින් නිදහස් කරන ලද ඇමෙරිකානු පුරවැසියන් තිදෙනා වොෂිංටන් නගරයට ළඟා වූ අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔවුන් පිළිගනු ලැබිණි.

ජනාධිපති ට්‍රම්ප් සිය බිරිඳ මෙලනියා ද කැටුව ගුවන් යානය තුළට ගොස් ඔවුන් පිළිගනු ලැබූ බව වාර්තා විය.

නිදහස ලද එම ඇමෙරිකානුවන් තිදෙනා වොෂිංටනය බලා පිටත්වුණේ, උතුරු කොරියාවේ සංචාරයකින් අනතුරුව සියරට බලා යමින් සිටි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රැගත් ගුවන් යානයෙනි.

නිදහස ලද සිය රටේ පුරවැසියන් තිදෙනා ගුවන් තොටුපළට ළඟා වෙද්දී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප් "එය ශ්‍රේෂ්ඨ ජාතියක් උදෙසා සුවිශේෂී රාත්‍රියක්" යැයි කියා සිටියේය.

සිරකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයාට තුති පළකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා "දෙරටේ නායක හමුව සිදුවීමට පෙර සිරකරුවන් මුදා හරිනු ඇතැයි නොසිතූ" බව සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර යෝජිත හමුව නිමිත්තෙන් හොඳහිත පළ කිරීමක් වශයෙන් ප්යොංයෑං පාලනය විසින් ඔවුන් මුදා හරිනු ලැබ ඇතැයි ධවල මන්දිරය පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහස ලද තිදෙනා පිළිගැනීමෙන් අනතුරුව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහස ලද තිදෙනා පිළිගැනීමෙන් අනතුරුව

ට්‍රම්ප් - කිම් ජොන් හමුව පැවැත්වෙන ස්ථානය දින තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකානු සිරකරුවන් මුදාගැනීම ඔහු ලද "සාඩම්බර ජයග්‍රහණයක්දැයි" විමසූ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප් "සාඩම්බර ජයග්‍රහණය වන්නේ සමස්ත කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික නිරවි කලාපයක් බවට පත් කළ විටක" යැයි කියා සිටියේය.

"මේක අති විශාල ගෞරවයක්. එහෙත් සැබෑ ගෞරවය වන්නේ න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීමේ ඉලක්කය සපුරා ගැනීමට අපි සමත් වුනොත් පමණයි" ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් "යම් දිනයක උතුරු කොරියාවට යාමට තමාට හැකිවනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් සියරට සැබෑ ලෝකය තුළට ගෙන ඒමට කිම් ජොන් අන්ට උවමනාවක් ඇතැයි විශ්වාස කරන" බවත් සඳහන් කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සති හයක් තුළ දෙවතාවක් කිම් ජොන් අන් මුන ගැසුණි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සති හයක් තුළ දෙවතාවක් කිම් ජොන් අන් හමු විණි.

සබැඳි පුවත්;