"කොරියානු නායක හමුව ඉතිහාසයේ අලුත් පිටුවක්"

දේශ සීමාවේදී පිළිගනු ලැබුණ මොහොත
ඡායාරූප ශීර්ෂ වැකිය, දේශ සීමාවේදී පිළිගනු ලැබුණ මොහොත

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයෝ දෙ රටේ දේශ සීමාවේ දී මුණ ගැසීමෙන් අනතුරුව ආරම්භ වූ සාකච්ඡා පෙරට යමින් පවතී.

මෙය 1953 වසරේ දී කොරියානු යුද්ධය නිමවීමෙන් අනතුරුව දෙරටේ නායකයන් මුණ ගැසෙන පළමු අවස්ථාවයි.

නායක සාකච්ඡා ශුභවාදී මට්ටමින් පෙරට යමින් ඇතැයි දකුණු කොරියාව පවසයි.

කිම් ජොන් අන් ගමන් කළ මාර්ගය
ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන් අන් ගමන් කළ මාර්ගය

නායකයන් දෙදෙනා කොරියානු අර්ධද්වීපයේ නිත්‍ය සාමය සහ න්‍යෂ්ටික නිරවිකරණය මාතෘකා කර ගනිමින් අව්‍යාජ සාකච්ඡා පවත්වන ලද බව එම වාර්තාවන්හි දැක්වෙයි.

කොරියානු වේලාවෙන් අද සිකුරාදා උදෑසන දේශ සීමාව පසු කරමින් දකුණු කොරියානු භූමියට සැපත් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් විසින් පිළිගනු ලැබුණි.

මේ අතර දකුණු කොරියානු ජනාධිපතිවරයා ද සංකේතවත් පියවරක් ගනිමින් උතුරු කොරියානු භූමියේ සිය පාද තැබීය.

කිම් ජොන් අන්ගේ ආචාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන් අන්ගේ ආචාරය

අද සන්ධ්‍යාවේ සාකච්ඡා අවසානයේ නායකයන් දෙදෙනා විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබීමට ද නියමිතව ඇත.

සාකච්ඡා නිමවන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකිනි.

එම භෝජන සංග්‍රහයට නායකයන් දෙදෙනාගේ භාර්යාවන් ද සහභාගී වෙති.

සබැඳි පුවත්;