දකුණු කොරියාව: සැම්සුන් උරුමකරු බන්ධනාගාරයෙන් නිදහස් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට අල්ලස් දීම හේතුවෙන් පණවන ලද පස් අවුරුදු සිර දඬුවම අධිකරණය විසින් අත්හිටවනු ලැබීමත් සමග සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.
නඩු තීන්දුවට අයත් ඇතැම් කරුණු තහවුරු කළ සෝල් අගනුවර මහාධිකරණය සිය අභිමතය යොදා ගනිමින් විධායක නිලධාරී ලී ජායේ-යොං නිදහස් කිරීමට කටයුතු කළේය.
අදාළ තීන්දුව අභියෝගයට ලක් කර එරට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ ඉඩක් ද පවතී.
ඉහත කී නඩු විභාගය ආරම්භ වීමත් සමග දකුණු කොරියාවේ විශාලතම සමාගම් ජාලය සහ ඉන් සමාජය වෙත කළ හැකි බලපෑම සාමාන්‍ය ජනයාගේ කෝපයට ලක් විය.
සඳුදා (පෙබරවාරි 04) පැවති නඩු විභාගයේ දී ලී ජායේ-යොංට ලබා දී තිබූ සිර දඬුවම වසර දෙකක් සහ වසර දෙක හමාරක් වශයෙන් කොටස් දෙකකට බෙදීමට අධිකරණය තීන්දු කළේය.
අල්ලස් ලබා දීම සහ අයථා මුදල් භාවිතය ඇතුළු චෝදනා සඳහා ලබා දී තිබූ දඬුවම අත්හිටවීමට අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.
ඒ අනුව ජායේ-යොංට තවදුරටත් බන්ධනාගාර ගතව සිටීමට අවශ්‍ය නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
නිදහස ලැබුව ද සෙසු චෝදනා සඳහා වරදකරු කරමින් ලබා දුන් තීන්දුවලට එරෙහිව සැම්සුන් උරුමකරු අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ඔහුගේ නීතිඥයා පැවසීය.
දේශපාලනය හා සම්බන්ධ අපචාරයක් මත එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු බව තීන්දු කළ දකුණු කොරියාවේ පහළ අධිකරණයක් විසින් ලී ජායේ-යොංට සිර දඬුවම් ලබා දීමට තීන්දු කළේ පසුගිය වසරේදීය.
ඉහත කී අපචාරය හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය පාක් ගුන් හේට සිය ධුරයෙන් ද ඉවත් වීමට සිදු විය.
දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අල්ලස් දීම සහ අයථා මුදල් භාවිතය ඇතුළු චෝදනා ගණනාවකට සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ උප සභාපති ලී ජායේ-යොං වරදකරු කෙරිණි.
පවුලේ ව්‍යාපාර ජාලය සහ දේශපාලනය අතර පවතින සම්බන්ධතා ඉහත කී අපචාරයෙන් හෙලිදරව් විය.
සමාගම් හැටකට ආසන්න සංඛ්‍යාවකින් සැදුම්ලත් සැම්සුන් ජාලයේ ඉහළින්ම පසුවන්නේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමය.
සබැඳි පුවත්:








