බොකෝ හරාම් පළමු නඩුවට සැකකරුවන් අට සීයක්

ඔවුන්ගේ ඉලක්කය වුණේ ඉස්ලාමීය රාජ්‍යයකි

ඡායාරූප මූලාශ්‍රය, AFP/BOKO HARAM

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන්ගේ ඉලක්කය වුණේ ඉස්ලාමීය රාජ්‍යයකි

'බොකෝ හරාම්' සන්නද්ධ කැරලිකරුවන් යයි චෝදනා ලබන අටසීයක් සැකකරුවෝ ඔවුන්ට එරෙහි නඩු විභාගයක් ආරම්භයේ දී අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

හත්දහසක් පමණ වූ 'බොකෝ හරාම්' චුදිතයන් අතරින් අධිකරණය ඉදිරියට පමුණුවන ලද පළමු කණ්ඩායම එයයි.

මෙය නයිජීරියානු ඉතිහාසයේ ත්‍රස්ත චෝදනා යටතේ පැවැත්වෙන දැවැන්තම නඩු විභාගය ලෙස සැලකෙයි.

'කයින්ජි' (Kainji) නගරයේ යුද හමුදා රැඳවුම් කඳවුරක 'රහසිගත මට්ටමින්' පැවැත්වීමට යන මෙම නඩු විභාගය ඇතැම් සැක කරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ද දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

යුද කඳවුරක පැවැත්වෙන නමුත් අදාළ චෝදනා විභාග කරනු ලබන්නේ සිවිල් අධිකරණයේ විනිශ්චයකාරවරුන් විසිනි.

එහෙත් මහජනයාට විවෘත නොවන මට්ටමින් 'රහසිගතව' පැවැත්වෙන හෙයින් මෙම නඩු විභාගයේ විනිවිද පෙනෙන සුළු තත්වයක් නොමැති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.

බොකෝ හරාම් කැරලිකරුවෝ ළමුන් ,ශිෂ්‍යාවන් සහ කාන්තාවෝ පැහැර ගනිති
ඡායාරූප ශීර්ෂ වැකිය, බොකෝ හරාම් කැරලිකරුවෝ ළමුන් ,ශිෂ්‍යාවන් සහ කාන්තාවෝ පැහැර ගනිති

මෙයින් අවුරුදු අටකට පෙර ඊශාන දිග නයිජීරියාවේ 'බොකෝ හරාම්' කැරලි ගැසීම් ආරම්භ වීමෙන් පසු දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකට උන්හිටිතැන් අහිමි වී ඇත.

කැරලිකරුවන්ගේ ප්‍රහාර මගින් මරා දමන ලද ජන සංඛ්‍යාව විසි දහසක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ත්‍රස්ත චෝදනා යටතේ නඩු විභාගවලට යොමු කරන ලදුව මෙතෙක් වැරදිකරුවන් කරනු ලැබ ඇත්තේ චුදිතයන්ගේ සංඛ්‍යාව නව දෙනකු පමණි.

මෙම නඩුවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකු වන අල් හසන් මුහම්මද් ප්‍රකාශයක් කරමින්, නඩු විභාගය ඉතා සෙමෙන් සිදු වනු ඇතැයි කියා සිටියේය.

හැම සැකකරුවකුම සම්බන්ධයෙන් ඔවුන්ගේ නම අඬ ගසා චෝදනා ඉදිරිපත් කිරීමට සහ ඒවා විභාගයට කලක් ගතවිය හැක යන්න නීතිවේදියාගේ තර්කයයි.

ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට යටත් වෙන ඉස්ලාමීය සැකකරුවන් සඳහා සමාවක් දීමට නයිජීරියානු ආණ්ඩුව මේ අතර තීන්දු කර ඇත.

එසේ යටත් වෙන කැරලිකරුවන් 'සටන් මානසිකත්වයෙන් ඉවත් කොට සමාජගත කිරීමේ සැලැස්මක්' ද නයිජීරියානු ආණ්ඩුව විසින් පෙරට තබා ඇත.

එහෙත් එම අවස්ථාව ලැබෙන්නේ සාපරාධී වැරදි සම්බන්ධයෙන් චෝදනා නොලබන කැරලිකරුවන්ට පමණක් බව නයිජීරියාවේ අධිකරණ ඇමති මලාමි (Malami) පවසයි.

කැරලිකරුවන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කැරලිකරුවන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු දර්ශනයක්

බොකෝ හරාම් ඉතිහාසය

20012 වසරේ පිහිටුවන ලද 'බොකෝ හරාම්' කැරලිකාරීන්ගේ සංවිධානයේ නමෙහි නිල තේරුම "බටහිර අධ්‍යාපනය තහනම්" යන්නයි.

2009 වසරේ දී 'ඉස්ලාමීය රාජ්‍යයක්' වෙනුවෙන් සටන් ආරම්භ කළ 'බොකෝ හරාම්' ව්‍යාපාරය, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 2013 දී ' තහනම් ත්‍රස්ත ලේඛනයට' ඇතුළත් කරන ලදී.

ආරම්භයේ දී ඊශාන දිග පළාත් කීපයක් අල්ලා ගැනීමට 'බොකෝ හරාම්' කැරලිකරුවන් සමත් වුනත් එම පළාත් යළි දිනා ගැනීමට නයිජීරියානු හමුදා මේවනවිට සමත්ව ඇත.

'බොකෝ හරාම්' ඉස්ලාමීය ප්‍රහාරකයන් විසින් ළමුන් මිනිස් බෝම්බ හැටියට යොදා ගනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෙළා දැකීමට ලක් වූ අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන පරිදි කැරලිකරුවන් විසින් 2017 වසරේ පළමු මාස අට ඇතුළත ළමුන් බෝම්බ ප්‍රහාර සඳහා යොදා ගන්නා ලද අවස්ථා 83 ක් වාර්තා විය.

යුනිසෙෆ් වාර්තාවන්ට අනුව බෝම්බ ප්‍රහාර සඳහා යොදා ගනු ලැබ ඇති ළමුන්ගෙන් 55 දෙනෙක් වයස අවුරුදු පහළොවට අඩු දැරියෝ වෙති.

කුඩා දැරියක් විසින් ගෙන යමින් සිටි බිලිඳු දරුවකුගේ සිරුරේ බෝම්බයක් ඔතා තිබුණ සිද්ධියක්ද වාර්තා විය.

බොකෝ හරාම් ආරම්භකයා -මොහොමඩ් යූසුෆ් - පොලිස් වෙඩි පහරින් අමරා දමනු ලැබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, බොකෝ හරාම් ආරම්භකයා -මොහොමඩ් යූසුෆ් - පොලිස් වෙඩි පහරින් අමරා දමනු ලැබුණි

'බොකෝ හරාම්' කැරලිකරුවෝ තම සංවිධානය සඳහා පිරිමි ළමුන් පමණක් නොව ගැහැණු ළමුන් පවා පැහැර ගත්හ.

ළමා සොල්දාදුවන් ලෙස යොදා ගැනීම සඳහා ළමුන් පැහැර ගැනීම සහ බලහත්කාරයෙන් බඳවා ගැනීම 'බොකෝ හරාම්' උපක්‍රමයයි.

2014 වසරේ අප්‍රියෙල් මාසයේ උතුරු නයිජීරියාවේ 'චිබෝක්' පාසලේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යාවන් 276 දෙනකු එම ඉස්ලාමීය සන්නද්ධ ප්‍රහාරකයන් විසින් පැහැර ගන්නා ලද අතර, ජාතික සහ ජාත්‍යන්තර විරෝධය හමුවේ ඔවුන් කොටස් වශයෙන් මුදා හැරීමට ඔවුන්ට සිදු විය.