ඉර්මා;ෆ්ලොරිඩා වැසියන් පනස්හය ලක්ෂයක් උන්හිටිතැන් හැර යති

ඉර්මා කියුබාව ඔස්සේ ගමන් ගනිද්දී

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉර්මා කියුබාව ඔස්සේ ගමන් ගනිද්දී

'ඉර්මා' හරිකේන් කුණාටු අනතුර ඉදිරියේ සිය භූමියේ පනස් හය ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.

එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දකුණු තීරයේ සහ ප්‍රාන්ත අභ්‍යන්තරයේ ශක්තිමත් නොවන නිවාස වල ජීවත් වෙන මහජනතාවටත් ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානවලට ගමන් කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී ඇත.

හෙට ඉරිදා (සැප්තැම්බර් 10) උදෑසන 'ඉර්මා' ෆ්ලොරිඩාවට පහර දෙනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

'ඉර්මා' විනාශ කළ 'සෙන්ට් මාර්ටින්' දූපතේ අද දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉර්මා' විනාශ කළ 'සෙන්ට් මාර්ටින්' දූපතේ අද දර්ශනයක්

කුණාටු උවදුරු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජනපද 'හරිකේන්' මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් 'ඉර්මා' ගමන් ගන්නා මාර්ගයෙන් ඉවත් නොවී හිඳිමින් ඊට ගොදුරු වන ඕනෑම ජීවියෙක් මරණයට පත්වීමේ බිහිසුණු තත්වයක් පවතින බවට අනතුරු ඇඟවීමක් කළේය.

කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ප්‍රභේදයට (CATEGORY 5) ඇතුළත් කරනු ලැබ ඇති 'ඉර්මා' කුණාටුව හමා යමින් පවතින්නේ පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයකිනි.

ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පවතින බව ෆ්ලොරිඩා වාර්තා මගින් පැවසෙයි.

ඉර්මා මඟහැර යන ෆ්ලොරිඩා ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉර්මා මඟහැර යන ෆ්ලොරිඩා ජනතාව

'ඉර්මා' දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.

සිකුරාදා රාත්‍රියේ චණ්ඩ මාරුතය සහ මහ වැසි සමඟ කියුබාව ඔස්සේ හමා ගිය 'ඉර්මා' දශක කීපයකට පසුව කැරිබියානු කලාපයේ කොමියුනිස්ට් රාජ්‍යයට එල්ල වූ පස් වෙනි ප්‍රභේදයට (CATEGORY 5) අයත් පළමු හරිකේන් කුණාටුවයි.

මෙම මහා කුණාටුව 'ලීවර්ඩ්'(Leeward Islands) දූපත් ඔස්සේ පුවටෝ රිකෝ, ඩොමිනිකා ,හිස්පැනියෝලා හයිටි සහ කියුබාව, ඔස්සේ හමා ගිය අතර එය ඉරිදා ෆ්ලොරිඩාවට ලඟා වනු ඇතැයි විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කැරිබියානු දූපත් ඔස්සේ හමා යද්දී 'ඉර්මා' කුණාටුව ටර්ක්ස් සහ කේකොස් (Turks and Caicos Islands) දූපත්වලට ද දැඩි හානි පමුණුවන ලදී.

ඉර්මා සිකුරාදා සහ සෙනසුරාදා උදෑසන ගමන් ගනිමින් සිටි කළාපය සහ ඉරිදා ඊට ගොදුරු වෙන ෆ්ලොරිඩා මෙම සටහනින් දැක්වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉර්මා සිකුරාදා සහ සෙනසුරාදා උදෑසන ගමන් ගනිමින් සිටි කළාපය සහ ඉරිදා ඊට ගොදුරු වෙන ෆ්ලොරිඩා මෙම සටහනින් දැක්වෙයි

'ලීවර්ඩ්'(Leeward Islands) දූපත් ඔස්සේ හමා ආ 'ඉර්මා'පළමුවෙන්ම බැට දුන්නේ 'බාර්බුඩා' සහ 'ඇන්ටිගුආ' ද්විත්ව දූපත් රාජ්‍යයටයි.

බාර්බුඩා දූපතේ කුඩා දරුවකු මරා දැමූ 'ඉර්මා' සිය භූමියේ ගොඩනැගිලිවලින් 95% කට පමණ හානි සිදු කරන ලද බව අගමැති ගැස්ටන් බ්‍රව්නි(Gaston Browne) පවසයි.

එම දිවයින ගුවනින් අධීක්ෂණය කළ අගමැතිවරයා "මේක මහා විනාශයක්" යයි සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය පාලනයේ පවතින 'බ්‍රිතාන්‍ය වර්ජින්' දූපත් කරා 'ඉර්මා' ලඟා වුණේ කැරිබියානු දූපත්වාසීන් දාහතර දෙනෙකුට මරු කැඳවමිනි.

'ඇන්ගුලා' දූපතේ විපතට පත් ජනතාවට උදව් වෙන බ්‍රිතාන්‍ය හමුදා භටයන්

ඡායාරූප මූලාශ්‍රය, MOD

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඇන්ගුලා' (Anguilla) දූපතේ විපතට පත් ජනතාවට උදව් වෙන බ්‍රිතාන්‍ය හමුදා භටයන්