91 දී උපාධියක් : තුරුණු වියේ සිහිනයක්

ඡායාරූප මූලාශ්‍රය, PANUMAS SANGUANWONG/BBC THAI
"ඉගෙනීමට කිසිදා ප්‍රමාද නැහැ" යි පවසමින් සිය 91 වෙනි වියේදී විශ්ව විද්‍යාල උපාධියක් සම්පුර්ණ කළ මිත්තණියක් පිළිබඳව තායිලන්තයෙන් වාර්තා වේ.
ඇය එම කඩඉම පසුකරන්නට අවුරුදු 10 ක් ගත කළාය.
තුරුණු වියේදී විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමේ සිහිනය තුරුළුකරගෙන සිටි කිම්ලං ජිනගුන් නම් වූ ඇයට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි.
නමුත් බොහෝ කාලය ගෙවී යද්දී තමන්ගේම දරුවන් ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරද්දී ඇය තීරණ කළේ එතෙක් කල් තුරුළු කරගෙන සිටි සිහිනය සැබෑවක් කරගන්නටය. ඒ අනුව කළ කැපකිරීමේ ප්‍රතිඵලය බදාදා (අගෝස්තු 09) උදා කරගත්තීය.
උතුරු තායිලන්තයේ ලම්පං පළාතේ උපන් කිම්ලං දක්ෂ සිසුවියක වූ අතර ඉගෙනුම ලැබුවේද එම පළාතේ වූ හොඳ ම පාසලකය.
නමුත් ඒ අවධියේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට හැකියාවක් නොවූ අතර සිය පවුල බැංකොක් අගනුවරට පදිංචියට යාමෙන් පසු විවාහ වීම මත වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සිහිනය අත්හැර දැමීමට ඇයට සිදුවුවාය.
"එය මාතුළ හැමදාම තිබුනත්, මට ඕනවුනේ මගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සලසාදෙන්නයි. ඒ නිසා විශ්ව විද්‍යාලයට යන්නට ඔවුන්ට ඕනෑ වූ විට මා ඔවුන්ට ධෛර්යය දෙමින් ඊට සහය දුන්නා." යැයි ඇය කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, PANUMAS SANGUANWONG/BBC THAI
සිය දරු පස්දෙනාගෙන් සිව්දෙනෙකු ම ශාස්ත්‍රපති උපාධි ලැබූ අතර ඉන් එක් අයෙකු ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා එක්සත් ජනපදයට ද පිටත් විණි.
අවසානයේදී දරුවන්ගේ ශාස්ත්‍රීය අත්දැකීම් ඇයට ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා යොමුවීමට මග පෑදීය.
ප්‍රීතිමත් ජීවිතයක්
තමන්ගේ එක් දියණියක් සුඛෝතායි තම්මතිරත් විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන්නට යනවිට ඒ සමග කිම්ලං ද සිය තීරණය ක්‍රියාවට නැගීමට තීරණය කළාය.
අධ්‍යයන කටයුත්ත සඳහා ඇතුළත්වන විට ඇයගේ වයස 72කි. නමුත් ඒ අතරවාරයේදී ඈ සමග ඉගෙනීමේ යෙදුනු සිය දියණිය කනගාටුදායක ලෙස මිය ගියාය. ඒ හේතුවෙන් වසර කිහිපයකට කිම්ලං සිය අධ්‍යයන පාඨමාලාවෙන් ඉවත්විණි.
වයස 85 වනවිට යළිත් සිය අරමුණ වෙත යොමු වූ ඇය මානව පරිසර විද්‍යාව පිළිබඳ උපාධියකට ඇතුළත් වුවාය. ඇය සඳහන් කළේ හොඳ ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට එය තමන්ට උපකාරීවනු ඇති බවකි.
"ශෝචනීය අහිමිවීමකින් පසුව මා යොමු වුනේ මේ අධ්‍යයන කටයුත්ත නිම කරන්නයි. මෙය දකින මගේ දුගේ ආත්මය සතුටට පත්වෙතැයි මා හිතනවා" යැයි ඇය බීබීසී වෙත කියා සිටියාය.
වසර ගණනක ඉගෙනීම් ක්‍රියාවලිය තුළදී ඇයගේ දෛනික ජීවන රටාව වූයේ උදෑසනම අවදිවී බෞද්ධ භික්ෂුන් වහන්සේට දන් පිළිගන්වා අසල ඇති විහාරයට ගොස් ඉන් අනතුරුව අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමය.

ඡායාරූප මූලාශ්‍රය, JUASIRIPUKDEE'S FAMILY


"කවදාවත් පරක්කු නැහැ. ඉගෙනීම වෙනුවෙන් මගේ මනස හැමවිටම අවදියෙන් වගේම පැහැදිලි වුණා"
"මේ ලෝකය නවතින්නේ නැහැ. හැමදාම අපිට විසඳන්න අලුත් ප්‍රශ්න තිබෙනවා. අලුතින් විද්‍යා ගොඩ නොනැගුනොත් ලෝකය සමෘද්ධිමත්වීම නවතීවි" ඒ ඇගේ අදහසය.
සාර්ථකත්වයේ සූත්‍රය
සාර්ථකත්වයේ රහස කුමක්දැයි විමසු විට මේ මිත්තණිය පැවසුවේ, අධිෂ්ඨානය මෙන්ම තමන් තුළ වූ අභිලාශය තමාව මේ දුර ගෙන ආ බවය.
"එක් පරිච්ඡේදයක් අවසන් කරන්නැයි මා මටම කියූ විට, එය හොඳින්ම කරන්නට මා උත්සාහ කරනවා. මතක තියාගන්නට අවශ්‍ය වැදගත්ම කරුණු සළකුණු කරගන්නවා. මගේ අධ්‍යයන සමාලෝචනයේදී ඒක තමයි මට උදව් වෙන්නේ"
"සමත්වෙනකොට සතුටක් ලබනවා වගේම අසමත්වෙනකොට දුකක් දැනෙනවා. ඉතින්, සමත් වෙනකල්ම ම විභාගයට යළි යළිත් වාඩි වුණා" පැවසු ඇය සිනහ නැගුවාය.
එසේ ලබාගත් උපාධිය සමග දැන් සතු සැලසුම කුමක්ද ?
"මං හිතන්නේ නැහැ කවුරුවත් මාව රැකියාවකට ගනීවි කියලා" යැයි කවටකමින් කී ඈ "මං තවදුරටත් මගේ මුනුබුරු මිනිබිරියන් බලාගන්නවා"










