තෙරේසා මේ පක්ෂයෙන් සමාව අයදියි

ඡායාරූප මූලාශ්‍රය, PA
කොන්සර්වේටිව් පක්ෂය සතුව එතෙක් පැවති පාර්ලිමේන්තු බහුතර බලය පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 08)පැවැත්වුන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී අහිමි කර ගැනීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිටියාය.
'වෙස්ට්මිනිස්ටර්' පාර්ලිමේන්තු මන්දිරයට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවූ අගමැතිවරිය "මේවනවිට උද්ගතව පවතින ව්‍යාකූලත්වය තමා විසින් නිර්මාණය කරන ලද බවත් එයින් ගොඩ ඒමට තමාම කටයුතු කරන" බවත් කියා සිටියාය.
පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අමතමින් අදහස් දැක්වූ අගමැතිවරිය "ඔබට අවශ්‍ය තරම් කාලයක් මම කටයුතු කරමි" යනුවෙන් සඳහන් කළ බවක් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතරම තම ඉදිරි වැඩ පිළිවෙළ ඇතුළත් ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම ප්‍රමාද වීමට ඉඩකඩ ඇති බවත් පාලක කොන්සර්වේටිව් ආණ්ඩුව විසින් තහවුරු කරනු ලැබ ඇත.
බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ එවැනි පූර්වාදර්ශයන් දුලබය.
අගමැතිවරිය සිය මන්ත්‍රී කණ්ඩායම මුණ ගැසුණේ රාජසනයේ කතාව ප්‍රමාද විය හැකි බවට අදහස් පළ වෙමින් පවතින අතරයි.
දෙවන එලිසබත් රැජින සම්ප්‍රදායක් වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කියවන ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ඇතුළත් රාජාසනයේ කතාව කල්යාම මුල්කර ගත් ව්‍යාකූලත්වය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිත හැඟීම් යහපත් අතට පත් කිරීමෙහිලා විශාල උදව්වක් නොවන බව බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය පක්ෂයේ පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගත් අගමැතිනි තෙරේසා මේ උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අද (ජූනි 13) සවස් භාගයේ තීරණාත්මක සාකච්ඡාවකට සූදානම් වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
ඒ අතරවාරයේ ප්‍රකාශයක් කරන සින් ෆේන් (Sinn Fein) පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය සමඟ ආණ්ඩුව ගිවිසුමකට යාම මගින් උතුරු අයර්ලන්ත සාම වැඩ පිළිවෙළ කඩා වැටෙනු ඇතැයි අනතුරු ඇඟවීමක් කරයි.








