තෙරේසා මේ ඇවිදින මියගිය ගැහැනියක් - ජෝර්ජ් ඔස්බෝර්න්

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු මුදල් ලේකම් ජෝර්ජ් ඔස්බෝර්න්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු මුදල් ලේකම් ජෝර්ජ් ඔස්බෝර්න්

පසුගිය ජූනි 08 වෙනිදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් සිය පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගත් අගමැතිනි තෙරේසා මේ (Theresa May) "ඇවිදින මියගිය ගැහැනියකට" සමාන යයි කොන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝර්න්(George Osborne) පවසයි.

ලන්ඩනයේ පළ කෙරෙන 'ඊවිනින් ස්ටෑන්ඩර්ඩ්' (Evening Standard) පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන හිටපු මුදල් ඇමතිවරයා බීබීසියට අදහස් දක්වමින්, දැන් උද්ගත වී ඇති ප්‍රශ්නය "බ්‍රහස්පතින්දා පැවැත්වුන හදිසි මහ මැතිවරණයෙන් පසු අගමැතිවරිය තවත් කොතරම් කාලයක් මරණ පෝලිමේ සිටින්නේද?"යන්න යයි සඳහන් කළේය.

ජූනි අටවෙනිදා හදිසි මහ මැතිවරණයේ දී පාලක කොන්සර්වේටිව් පක්ෂයට කලින් ඔවුන් අත පැවති ආසන දහතුනක් අහිමි විය.

අලුත් දේශපාලන හැඩගැසීම් යටතේ කොන්සර්වේටිව් පක්ෂයේ 'නායක පොරය' ලබන සති අන්තයේ ආරම්භ වෙනු ඇතැයි හිටපු මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝර්න්(George Osborne) පවසයි.

එහෙත් එම ප්‍රකාශයට ප්‍රතිචාරය පළකරමින් අගමැතිවරිය වෙනුවෙන් නැඟී සිටි ආරක්ෂක ලේකම් මයිකල් fපැලන් (Michael Fallon) අගමැතිවරිය වසර තිහක කාලයක් ඇතුළත කොන්සර්වේටිව් පක්ෂය ලද වැඩිම ඡන්ද සංඛ්‍යාව දිනා දීමට සමත් වූ බව කියා සිටියේය.

අගමැතිනි තෙරේසා මේ සිය සැමියා සමඟ ඉරිදා (ජූනි 11) දේව මෙහෙය සඳහා යමින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිනි තෙරේසා මේ සිය සැමියා සමඟ ඉරිදා (ජූනි 11) දේව මෙහෙය සඳහා යමින්

"ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නීත්‍යනුකුලව බලය ලද හෝ මහජන විශ්වාසය ලද වෙනත් දේශපාලන පක්ෂයක් නැහැ" ආරක්ෂක ලේකම්වරයා පවසයි.

වත්මන් විදේශ ලේකම් බොරිස් ජොන්සන්(Boris Johnson) කොන්සර්වේටිව් පක්ෂයේ මී ළඟ නායකයා විය හැකිබව ලංඩනයේ පළ කෙරෙන ඉරිදා පුවත්පතක් ප්‍රකාශ කරන අතර එහෙත් තම සහයෝගය අගමැතිනි තෙරේසා මේ වෙනුවෙන් ලැබෙන බව ඔහු 'ට්විටර්' පණිවුඩයක් මගින් කියා සිටියේය.

මේ අතර ප්‍රකාශයක් කරන ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් (Jeremy Corbyn) අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඇතුළත තවත් මහ මැතිවරණයකට යාමට සිදුවිය හැකි බවට අනාවැකි පළ කරයි.

ජෙරමි කෝබින් සිය ඡන්ද කොට්ඨාශයේ වෙළෙඳ සලකින් ඉරිදා පුවත්පත් මිළට ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙරමි කෝබින් සිය ඡන්ද කොට්ඨාශයේ වෙළෙඳ සලකින් ඉරිදා පුවත්පත් මිළට ගනිමින්

උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP)සහයෝගය මත රඳා පවතින සුළුතරයේ ආණ්ඩුවක් නොව වඩාත් වගකිවයුතු පාලනයක් රටට අවශ්‍ය කරන බව විපක්ෂ නායක ජෙරමි කෝබින් පෙන්වා දෙයි.