"අපේ රටේ අපට හිමිතැන දෙන්න"

උලුරු සමුළුව නියෝජනය කරන ආදිවාසී නායකයෝ

ඡායාරූප මූලාශ්‍රය, jimmy widders hunt

ඡායාරූප ශීර්ෂ වැකිය, උලුරු සමුළුව නියෝජනය කරන ආදිවාසී නායකයෝ

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් එරට සමස්ත ආදිවාසී (ඇබොරිජින්) මුල් පදිංචිකාර ප්‍රජාව විසින් බැහැර කරනු ලැබ ඇත.

ඒ වෙනුවට තමන්ද පාර්ලිමේන්තුව තුළ නියෝජනය කෙරෙන අලුත් විධිමත් ආයතනයක් පිහිටුවන මෙන් එම ජනතාව ඉල්ලා සිටිති.

දෙසිය පනහක් නියෝජිතයන් සහභාගී වූ ඓතිහාසික සමුළුවක දී ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා පමණක් බල කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් "ස්වයංපාලන බලතල දිනා ගැනීම සඳහා පුළුල් රැඩිකල් ප්‍රතිසංස්කරණ" වැඩ පිළිවෙලක් ඔවුහු ඉල්ලා සිටියහ.

'උලුරු'(Uluru) නගරයේ පැවැත්වුන දින තුනක හමුවකින් අනතුරුව ඕස්ට්‍රේලියානු භූමියේ ජීවත් වෙන ආදිවාසී ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන 'නව ජාතික ආයතනයක්' ස්ථාපනය කරන මෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබ ඇත.

එම ආයතනය තුළ ගනු ලබන තීන්දු මධ්‍යම පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ඔවුන්ගේ සැලැස්මයි.

සමුළුව ආරම්භ කෙරුනේ ආදිවාසී ජන නැටුම් මගින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළුව ආරම්භ කෙරුනේ ආදිවාසී ජන නැටුම් මගින්

'උලුරු ප්‍රකාශනය' යනුවෙන් හඳුන්වනු ලබන ඉහත කී ඒකාබද්ධ ප්‍රකාශනය මගින් සිය අභිලාෂයන් විස්තර කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනතාව " කිසිදු සැකයකින් තොරව මේ මිහිතලයේ සිරගත මට්ටමක වෙසෙන ජන කොටස අපි වෙමු. අපි උපතින්ම සාපරාධී ජන කොටසක් නොවෙමු" යයි කියා සිටිති.

"අපි අපේ ජනතාවට බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තු වෙනවා. 'අපේ රට තුළ අපට හරි තැන ලැබෙන' වෙනසක් අපට අවශ්‍යයි. අපේ ඉරණම තීන්දු කෙරෙන බලයක් ලදොත් අපේ දරුවන්ට සෞභාග්‍යය සහ ප්‍රබෝධය උරුම වනු ඇත" උලුරු ප්‍රකාශනය කියා සිටී.

තමන් "පිළිගැනීමකට" ලක්වෙන බව පැවසෙන හිස් ප්‍රකාශනයක් නොව ප්‍රමාණවත් ආණ්ඩුක්‍රම වෙනසක් සහ ආකෘතිමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය කරන බව ඕස්ට්‍රේලියානු ආදීවාසීන්ගේ 'උලුරු ප්‍රකාශනය' මගින් පෙන්වා දෙයි.

'අපට අවශ්‍ය නමට පිළිගැනීමක් නොව අපේ අයිතිය'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අපට අවශ්‍ය නමට පිළිගැනීමක් නොව අපේ අයිතිය'

ඇබොරිජින් ප්‍රජාව සමඟ ගිවිසුමක් (treaty) අත්සන් කරන මෙන් ඉල්ලා සිටින 'උලුරු ප්‍රකාශනය' ආදිවාසී ජන ඉතිහාසය පිළිබඳව ඇත්ත කීමට බැඳුණ එසේම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අධීක්ෂණය කරන කොමිසමක් පිහිටුවන ලෙසත් ඉල්ලීමක් කරයි.

ආදිවාසීන් සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් එම ප්‍රජාව සමඟ කිසිදාක ගිවිසුමක් අත්සන් නොකළ රට ඔස්ට්‍රේලියාවයි.