ප්‍රංශ ජනපතිවරණය: 'ල-පෙන් පරදවා මැක්‍රෝන් ජය ගනියි'

ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් ඉහළ ජයක් ලබා ඇති බව දක්නට ලැබේ.

ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ඇති අතර ප්‍රතිවාදී මරීන් ල- පෙන් ලබා ගෙන ඇත්තේ 35% ප්‍රතිශතයකි.

ඒ අනුව තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතය.

එම ප්‍රතිඵල නිල වශයෙන් සනාථ වුවහොත් 1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පත්වන පළමු පුද්ගලයා ඔහු වනු ඇත.

ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්විණි.

"නව පරිච්ඡේදයක්"

ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවෝ පැරිස් නුවරට එක්රැස් වී සිටිති.

AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් "බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වුනා" යනුවෙන් පැවසීය.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ කාර්ය මණ්ඩලය කියා සිටියේ නව ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියා වූ මරීන් ල-පෙන් සමග "සුහදශීලී" දුරකථන සංවාදයක යෙදුනු බවය.

මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළාය.

ඇය විසින් ජනාධිපතිවරණය හඳුන්වනු ලැබුවේ "දේශප්‍රේමීන් සහ ගෝලීයවාදීන්" අතර සටනක් ලෙසය.