ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ ජනපති අපේක්ෂකයාගේ වෙබ් අඩවියට 'හැකරු ඇවිත්'
අන්තර්ජාල 'හැකරුන්' සිය වෙබ් අඩවියට ඇතුළු වී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ ලිපිගොනු විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට මුදා හැර ඇති බව ප්‍රංශ ජනපතිවරණයේ අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පවසයි.
ඡන්දදායකයන් ව්‍යාකූල කිරීම පිණිස හැකරුන් විසින් සැබෑ ලිපිලේඛණ අතරට ව්‍යාජ ලිපිගොනුද ඇතුළත් කර තිබෙන බවත් ඔවුහු පවසති.
ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය වැළැක්වීමට හැකරුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලි යයිද එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
හැකරුන්ගේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවියේ ඇතුළත් වූයේ සිය ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ නීත්‍යානුකූල ලිපිලේඛණ පමණක් බවත් එහි දැක්වේ.
රුසියානු හැකරුන්?
මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල-පෙන් ඉරිදා (මැයි 07) පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එකිනෙකාට එරෙහිව තරග වදිති.
මේ වනවිට මැක්‍රෝන් ල-පෙන්ට වඩා 20% ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ අනුව ඉඟි කෙරේ.
එම්මානුවෙල් මැක්‍රෝන් මීට ඉහතදීද හැකරුන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, රුසියාවේ සහ යුක්රේනයේ සිට එම ප්‍රහාර එල්ල කළ බව ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම ඒ අවස්ථාවේ චෝදනා කළහ.
මොස්කව් පාලනයට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමණය කරන මරීන් ල-පෙන් ප්‍රංශයේ බලයට පත්කරගැනීමට රුසියාවට අවශ්‍යව තිබෙන බව ඔවුහු සැක පළකරති.
එහෙත් රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීමේ අරමුණින් රුසියානු 'හැකරුන්' නීතිවිරෝධී ලෙසින් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් පණිවුඩ අන්තර්ජාලයට මුදා හළ බවට චෝදනා එල්ල විය.
ප්‍රධාන පක්ෂ නෑ
දශක ගණනාවක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම -සමාජවාදී පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය - ප්‍රංශයේ ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂම ප්‍රවණතාවකි.
ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මෙන්ම යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම සහ යුරෝපයේ අනාගතය ප්‍රංශ ජනපතිවරණයේද අවධානයට ලක්ව තිබෙන ප්‍රධානම මාතෘකාවකි.
ප්‍රංශ ඡන්දදායකයන් එම්මානුවෙල් මැක්‍රෝන් සිය නාගත ජනපතිවරයා වශයෙන් තෝරා ගනු ලබන්නේ නම්, යුරෝපය සමග තවදුරටත් බද්ධවීම පිණිස ඔවුන්ගේ අනුමැතිය හිමිවේ.
කිසියම් ලෙසකින් ඔවුන්ගේ තේරීම මරීන් ල-පෙන් වුවහොත්, යුරෝපා සංගමය වෙනුවට ස්වාධීන රාජ්‍යයන්ගෙන් සමන්විත යුරෝපයක් බිහි විය යුතු බවට ඇය ඉදිරිපත් කරන තර්කයට ප්‍රංශ ඡන්දදායකයෝ අනුමැතිය පළකරති.