ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංගක්කාර අභිබවා ගිය විරාට් කෝලි: 'සියල්ලට වඩා වැදගත් කණ්ඩායමේ ජයග්‍රහණය'
- Author, බීබීසී හින්දි
"මේ මොහොතේ විරාට් පන්දුවට පහර දෙනවා නැරඹීම සතුටක්. ඔහු ක්‍රීඩා කරන නිදහස, සැහැල්ලුව සහ ප්‍රීතිය ඔහු ක්‍රීඩාව කොතරම් විඳිනවා ද යන්න පැහැදිලිව පෙන්නුම් කරනවා" නවසීලන්තයට එරෙහිව ඉරිදා පැවති තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගයේදී විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩි ම ලකුණු ලාභියා බවට පත්විය. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමාජ මාධ්‍ය වේදිකාවක් වන Xහි කෝලි වෙනුවෙන් මෙම පණිවිඩය පළ කර තිබිණි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහි පැවති එක්දින තරගාවලියෙන් ආරම්භ වූ විරාට් කෝලිගේ විශිෂ්ට පිතිකරණ ජවය ගුජරාට් ප්‍රාන්තයේ වඩෝඩ්රා ක්‍රීඩාංගණයේදී ද දැක ගන්නට ලැබිණි.
සංගක්කාර අභිබවා යමින්, සචින් තෙන්ඩුල්කාර්ට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තරග ආකෘතිවල වැඩි ම ලකුණු රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට විරාට් කෝලි දැන් පත්ව සිටියි.
විරාට් කෝලිගේ ඉනිමට ස්තූතිවන්ත වන්නට, තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු එක්දින තරගයේදී නවසීලන්තය කඩුලු හතරකින් පරාජය කළ ඉන්දියාව, තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේ ය.
වඩෝඩ්රාහිදී පැවති එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 300ක් රැස් කළේ ය.
ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 4 කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය.
විරාට් කෝලි රැස් කළ ලකුණු 93 එම ජයග්‍රාහී ඉලක්කය කරා යාමට අතිශයින් තීරණාත්මක විය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 28,000
එම එක්දින තරගයේදී විරාට් කෝලි ලකුණු 25ක් රැස් කිරීමත් සමග, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු ආකෘතිවල (ටෙස්ට්, එක්දින, පන්දුවාර 20) ලකුණු 28,000ක් රැස් කළ ලෝකයේ තුන් වන පිතිකරුවා බවට පත්විය.
විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 28,000ක් රැස් කළ වේගවත් ම ක්‍රීඩකයා බවට පත්විය. සචින් තෙන්ඩුල්කාර් ඉනිම 644කදී සහ සංගක්කාර ඉනිම 666කදී මෙම සන්ධිස්ථානය පසුකර තිබිණි.
නමුත් විරාත් කෝලි ඉනිම 624කදී ලකුණු 28,000 සම්පූර්ණ කළේ ය.
සචින් තෙන්ඩුල්කාර් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස වාර්තාව තබා ඇති අතර, ඔහු ලකුණු 34,357ක් ලබා ඇත.
මේ වන විට එක්දින ක්‍රිකට් තරග පමණක් ක්‍රීඩා කරන විරාට් කෝලි මේ දිනවල විශිෂ්ට ලෙස ලකුණු අතර සිටින ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති පළමු එක්දින තරග දෙකේදී සාර්ථක වීමට නොහැකි වුව ද, ඔහු නැවත ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත්තේ ය.
සිඩ්නි එක්දින තරගයේදී විරාට් කෝලි නොදැවී ලකුණු 74ක් රැස් කළේ ය. ඉන්පසු දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරග දෙකේදී ශතක රැස් කළ ඔහු තුන් වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 65ක් ලබා ගත්තේ ය.
දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් විරාට් කෝලි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබී ය.
කෙසේ වෙතත්, විරාට් කෝලිට එක්දින ක්‍රිකට් පිටියේ තම 54 වන ශතකය ලබා ගැනීමට නොහැකි වූ අතර පන්දු 91කදී ලකුණු 93ක් ලබා සිටියදී දැවී ගියේ ය.
ඔහුගේ විශේෂ ජයග්‍රහණය පිළිබඳව විරාට් කෝලි මෙසේ පැවසීය, "මගේ මුළු ගමන දෙස බැලුවොත්, ඒක මට හීනයක් හැබෑ වුණා වගේ. මං හැම වෙලාවෙ ම මගේ හැකියාවන් ගැන විශ්වාස කළා. කොහොම වුණත්, මෙතනට එන්න මට බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුණා."
"ඇත්ත ම කිව්වොත්, මං දැන් කිසි ම වාර්තාවක් ගැන හිතන්නේ නැහැ. අපි මුලින් ම බැට් කළා නම්, මං බොහෝවිට වඩාත් ආක්‍රමණශීලීව ක්‍රීඩා කරන්න තිබ්බා. අත්දැකීම් ප්‍රයෝජනවත්, නමුත් වැදගත් ම දෙය නම් කණ්ඩායම ජයග්‍රහණය කරවීම යි."
ලකුණු අතරට පැමිණි ගිල් සහ අයියර්
දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය අහිමි වීමෙන් පසු, ඉන්දීය නායක ශුබ්මන් ගිල් ද මෙම එක්දින තරගාවලියේදී නැවත සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ය.
ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය ශුබ්මන් ගිල්, රෝහිත් ෂර්මා සමඟ ලකුණු 39ක ආරම්භක සබඳතාවක් ගොඩනැගුහ. පසුව ඔහු විරාට් කෝලි සමග ඔහු පන්දු 107කදී ලකුණු 118ක් එක් කළේ ය
මෙම තරගයේදී හොඳ ආරම්භයක් ලබා ගැනීමට රෝහිත් ෂර්මා අසමත් විය. ඔහුට පන්දු 29 කින් ලකුණු 26ක් පමණක් ලබා ගත හැකි වූ නමුත් ඔහුගේ කෙටි ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.
කෙසේ වෙතත්, අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව, ශුබ්මන් ගිල්ට ඔහුගේ ඉනිම එතරම් දිගු කිරීමට නොහැකි වූ අතර ලකුණු 56ක් ලබා ගැනීමෙන් පසු නැවත මණ්ඩපයට පැමිණියේය.
ශුබ්මන් ගිල්ට අමතරව, ශ්‍රෙයාස් අයියර් ද මාස තුනකට ආසන්න කාලයකට පසු ක්‍රිකට් පිටියට සාර්ථකව නැවත පැමිණියේය. කණ්ඩායමේ උප නායක අයියර් ලකුණු 49 ක් රැස් කළේය.
විරාත් කෝලිගේ දැවී යාමෙන් පසු ඉන්දීය ඉනිම අඩාල විය. කෝලි දැවී යන විට ඉන්දියාව කඩුලු 3කට ලකුණු 234ක් ලබා සිටියේය. ඉන්පසු ඉන්දියාවට ලකුණු අටක් ඇතුළත කඩුලු තුනක් අහිමි විය.
හර්ෂිත් රානා පන්දු 23කදී ලකුණු 29ක් රැස් කළ අතර කේ.එල්. රාහුල් පන්දු 21කදී නොදැවී ලකුණු 29ක් රැස් කරමින් ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දුන්නේ ය.
විරාට් කෝලිගේ මෑත කාලීන පිතිකරණ ස්වභාවය පිළිබඳව අදහස් දක්වමින් ශුබ්මන් ගිල් මෙසේ පැවසීය, "විරාට් කෝලි දැන් පන්දුවට පහර දෙන ආකාරය අනුව, ඔහුට පිතිකරණය ඉතා පහසු බව පේනවා. ආරම්භයේ දී පිතිකරණය පහසු නැහැ. නමුත් විරාට් කෝලි ඒක ඉතා ම පහසුවෙන් කළා."