ජෙමීමා රොඩ්‍රිගස් : 'මට අවශ්‍ය වුණේ කණ්ඩායම දිනවන්න උදව් කරන එක විතරයි'

    • Author, බීබීසී හින්දි

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

පන්දුවාර 48.3 කදී ඔස්ට්‍රේලියාව ලබා දුන් ලකුණු 339 ක ඉලක්කය හඹා ගිය ඉන්දියාව කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය. ජෙමීමා නොදැවී ලකුණු 127 ක් ලබා ගනිමින් ජයග්‍රහණයට නායකත්වය දුන්නාය.

ඉන්දියාව වෙනුවෙන් නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 89ක් රැස් කළාය.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.5 කදී ලකුණු 338 කට දැවී ගිය අතර, ෆීබ් ලිච්ෆීල්ඩ් පන්දු 93 කදී ලකුණු 119 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් විය.

ලිච්ෆීල්ඩ්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 17ක් ඇතුළත් විය. ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී චරානි සහ දීප්ති ෂර්මා කඩුලු 2 බැගින් දවා ගත්හ.

බදාදා පැවති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කිරීමෙන් පසු දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට පිවිස තිබේ.

ජෙමිමා සහ හර්මන්ප්‍රීත්ගේ ඓතිහාසික සම්බන්ධතාවය

ලකුණු 339 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවේ ආරම්භය දුර්වල වූ අතර, ඔවුන්ගේ ඉනිමේ දෙවන පන්දුවාරයේදී ෂෆාලි වර්මා ලකුණු 10 කට දැවී ගියාය.

ඉන්පසු ස්ම්‍රිති මන්දනා, ජෙමීමා සමඟ එක්ව ඉන්දීය ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළාය. කෙසේ වෙතත්, මන්දනා ඉන්දීය ඉනිමේ 10 වන ඕවරයේ දෙවන පන්දුවේදී ලකුණු 24 ක් ලබා ගනිමින් සිටියදී දැවී ගියාය.

ඉන්පසු ජෙමීමා, නායිකා හර්මන්ප්‍රීත් කෞර් සමඟින් කණ්ඩායමේ වගකීම භාර ගත් අතර ඔවුන් දෙදෙනා අර්ධ ශතක වාර්තා කළා පමණක් නොව, ලකුණු රැස් කිරීමේ වේගය ද ස්ථාවරව තබා ගැනීමට සමත් විය.

ජෙමීමා පන්දු 56 කදී අර්ධ ශතකය වාර්තා කළ අතර, හර්මන්ප්‍රීත් කෞර් පන්දු 65 කදී අර්ධ ශතකය වාර්තා කළාය.

ඔවුන් දෙදෙනා විසින් තුන්වන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 167 ක් එක් කළ නමුත් නායිකා හර්මන්ප්‍රීත් කෞර්ට ශතකය වාර්තා කිරීමට නොහැකි විය. ඇය ලකුණු 89 කට දැවී ගියාය.

හර්මන්ප්‍රීත් කෞර් සහ ජෙමිමා තෙවැනි කඩුල්ල සඳහා රැස් කළ ලකුණු 167ක සබඳතාවය, කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දිය කණ්ඩායම තුන්වන කඩුල්ල සඳහා පැවැත්වූ හොඳම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ජෙමීමා ඉනිමේ අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින්, පන්දු 134 කදී නොදැවී ලකුණු 127 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඊට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

ඉන්දීය කණ්ඩායමේ දීප්ති ෂර්මා නොදැවී ලකුණු 24ක්, රිචා ගෝෂ් ලකුණු 26ක් සහ අමන්ජොත් කෞර් ලකුණු 15ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය සඳහා පිත්තෙන් සිය දායකත්වය ලබා දෙන ලදී.

ඉන්දීය කාන්තා කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි තුන්වන අවස්ථාව මෙයයි. මීට පෙර එම කණ්ඩායම 2005 සහ 2017 වසරවලදී අවසන් මහ තරගයට පිවිස තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය කාන්තා කණ්ඩායම ඔවුන්ගේ පසුගිය එක්දින ලෝක කුසලාන අවසන් තරග දෙකේදීම බලාපොරොත්තු සුන්වීමකට මුහුණ දී ඇත.

ජෙමීමා නොදැන සිටි කරුණ

දෙවන පන්දුවාරයේදී පන්දුවට පහර දීමට පැමිණි ජෙමීමා, ඉන්දීය ඉනිම ආරම්භ වීමට මිනිත්තු පහක් යන තෙක් තමන් අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙන බව දැන නොසිටියාය.

"මම සාමාන්‍යයෙන් අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙන්නේ. සමහර වෙලාවට අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙනවා. ඉනිමට මිනිත්තු පහකට පෙරයි මට දැනුම් දුන්නේ අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන්න යන්නේ කියලා." තරගයෙන් පසු ඇය පැවසුවාය.

''ජෙමීමා දැඩි අධිෂ්ඨානයකින් යුතුව පිටියේ සිටියා'' නායිකා හර්මන්ප්‍රීත් කෞර් තරගයෙන් පසුව ඇයට ප්‍රශංසා කර සිටියා ය.

"ජෙමීමා සම්පූර්ණ වගකීම ඇගේ කර මතට ගත්තා වගේ පෙනුණා. අපි පන්දුවට පහර දෙන අතරතුරේදී අපි එකිනෙකා ගැන අගය කළා. ජෙමීමා පීඩනය වැඩි වෙන්න ඉඩ නොදුන්නා නිසා මගේ වැඩේ පහසු වුණා. ඇයත් එක්ක පන්දුවට පහර දෙන්න ලැබුණු එක මට සතුටට කරුණක් වුණා. ඇය තනිවම ලකුණු රැස් කළා විතරක් නෙමෙයි මාවත් උනන්දු කළා. ඇයට ඒ ගෞරවය හිමිවෙන්න ඕන." තරගයෙන් පසුව හර්මන්ප්‍රීත් කෞර් පැවසුවාය.

'මට අවශ්‍ය වුණේ කණ්ඩායම දිනවන්න උදව් කරන්න විතරයි'

ජෙමීමා පන්දුවට පහර දීමට පැමිණි විට, අවසන් මහා තරගය සඳහා ඉන්දියාවේ ස්ථානය තහවුරු කර ගන්නා තෙක් ම තමන් පිටියේ රැඳී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටි බවක් පෙනෙන්නට තිබිණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඓතිහාසික ශතකය රැස් කිරීමෙන් පසු එය සැමරීමට ඉක්මන් නොවූ ඇය, ඉන්දියාව තරගය ජයග්‍රහණය කරන තෙක් බලා සිටියේ එබැවින් ය.

තරගයෙන් පසු, ඇයට තරගයේ ක්‍රීඩිකාව සම්මානය ලැබුණු විට, ඇගේ ලකුණු 127ක අපූරු ඉනිම පිළිබඳ වචනයකින් හෝ නොපැවසූ දේ ඇගේ කඳුළු වලින් ප්‍රකාශ විය.

"මට කණ්ඩායම ජයග්‍රහණය කරවන්න ඕන වුණා. අද මගේ ලකුණු 50ක් හෝ 100ක් ගැන නෙවෙයි කතා කළේ. අද වැදගත් වුණේ ඉන්දියාව දිනන එක විතරයි" ජෙමීමා පැවසුවාය.

හර්මන්ප්‍රීත් සහ ඇගේ සබඳතාවය ඔවුන්ගේ ජයග්‍රහණයේ මුලික පදනම වූ බව ජෙමීමා පැවසුවාය.

"අවසානය දක්වාම සංයමයකින් ඉන්න එක හරිම අපහසු දෙයක් වුණා. නමුත් හර්මන්ප්‍රීත් කෞර් පිටියට ආවාම, අපි හොඳ සම්බන්ධතාවයක් ගැන කතා කළා. අපි දිගටම ලකුණු ලබා ගන්න තීරණය කළා," ඇය පැවසුවාය.

ජෙමීමා සහ හර්මන්ප්‍රීත් කෞර් අතර සබඳතාවය ඓතිහාසික එකක් වූ අතර, කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ අවසන් තරගයකදී ලකුණු 300කට වඩා ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාවට එය උපකාරී විය.

ජෙමීමාගේ දුෂ්කර ගමන

තරගයෙන් පසුව, ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම කොතරම් දුෂ්කර දැයි ජෙමීමා පැවසුවාය.

"පසුගිය මාස හතර මට හරිම අමාරු කාලයක් වුණා. නමුත් මම මා ගැන හිතුවේ නැහැ. මට කිසිම කරුණක් ඔප්පු කරන්න අවශ්‍ය වුණේ නැහැ. තීරණාත්මක අවස්ථාවලදී අපි තරග පරාජය වූ නිසා, මට කණ්ඩායම ජයග්‍රහණය කරවන්න අවශ්‍ය වුණා," ඇය පැවසුවාය.

එක්දින තරග 58කට ක්‍රීඩා කර ඇති ජෙමීමා එහිදී ශතක තුනක් ලබාගෙන ඇති අතර එම ශතක තුනම මෙම වසරේදී ඇය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කෙසේ වෙතත්, තරගයෙන් පසුව ජෙමීමා 2022 එක්දින ලෝක කුසලාන සංචිතයෙන් තමාව ඉවත් කිරීම පිළිබඳව ඇතිවූ කලකිරීම ගැන ප්‍රකාශ කළාය. "පසුගිය වතාවේ මාව ලෝක කුසලානයෙන් ඉවත් කළා, නමුත් මෙවර මම හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් හිටියා," ඇය පැවසුවාය.

"නමුත් මට පාලනය කරගන්න බැරි දෙයක් සිදුවෙමින් තිබුණා. මේ කාලය පුරාම මම හැමදාම වගේ අඬමින් හිටියේ. මට හරිම කනස්සල්ලක් දැනුණා. මාව කණ්ඩායමෙන් ඉවත් කළාට පස්සේ තවත් අභියෝගයක් ආවා."

අභියෝගයට මුහුණ දුන් හර්මන්ප්‍රීත් කෞර්

ජෙමිමාට අමතරව හර්මන්ප්‍රීත් කෞර් ද දුෂ්කර ලෝක කුසලාන ගමනකට මුහුණ දුන්නාය. පළමු තරග දෙක ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව තරග තුනක් පරාජයට පත්විය.

ඉන්දියාවේ අවසන් පූර්ව වටයට යන මාර්ගය දුෂ්කර බවක් පෙනෙන්නට තිබුණත්, ඔවුන්ගේ හයවන තරගයේදී නවසීලන්තය පරාජය කිරීමෙන් පසු, හර්මන්ප්‍රීත් කෞර්ගේ කණ්ඩායම ශක්තිමත් නැවත පැමිණීමක් ලබා ගනිමින් ඉතිහාසය අලුත් කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙන්නුම් කළේය.

කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයට පෙර විශිෂ්ට තත්ත්වයේ පසුවූ ආරම්භක ක්‍රීඩිකා ප්‍රතිකා රාවල්ගේ ආබාධය ඉන්දියාවට තවත් ගැටළුවක් විය.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වය, දුර්වල පන්දු රැකීම සහ ලකුණු අතරට නොපැමිණීම ගැන ඇය විවේචනයට ලක් වූ නමුත්, මෙම තරගයේදී, ඇය එක් ඉනිමකින් පමණක් සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් බවක් පෙනෙන්නට තිබිණි.

හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම නොවැම්බර් 2 වන දින නවී මුම්බායි හි DY පටිල් ඇකඩමි ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා තරග වදිනු ඇත.

ඉන්දීය කණ්ඩායමට ලැබුණු සුබ පැතුම්

ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් ගලා එමින් පවතී. ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් පමණක් නොව, බොහෝ දේශපාලනඥයෝ ද ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට සහ ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව සුබ පැතුම් එක් කරමින් සිටිති.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කණ්ඩායමට ප්‍රශංසා කළේය: 'ජෙමීමා සහ හර්මන්ප්‍රීත් වගකීම භාර ගැනීම විශිෂ්ටයි. ශ්‍රී චරානි සහ දීප්ති ෂර්මා, ඔබලා දෙන්නා තරගයට ජීවය ගෙන දුන්නා."

කැබිනට් අමාත්‍ය නිතින් ගඩ්කාරි කණ්ඩායමට ප්‍රශංසා කළේය: 'අපේ ගැහැනු ළමයින් ශක්තිමත් ඔස්ට්‍රේලියාව පරාජය කර අවසන් මහා තරගයට පැමිණියා. මෙම ජයග්‍රහණය ඔවුන්ගේ ධෛර්යය, ආශාව සහ කුසලතාවය පෙන්නුම් කරනවා. මුළු කණ්ඩායමටම සුබ පැතුම්."

මෙම ජයග්‍රහණය දිගු කලක් මතකයේ රැඳෙනු ඇතැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පැවසීය.

'හර්මන්ප්‍රීත් කෞර් සැබෑ නායිකාවක් මෙන් පීඩනය යටතේ උනන්දුවෙන් හා සන්සුන්ව සිටියා, ජෙමීමා රොඩ්‍රිගස් අවධානයෙන් හා අධිෂ්ඨානයෙන් අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා." ඔහු ඉන්ස්ටග්‍රෑම් හි සඳහන් කළේය.

"මෙවැනි රාත්‍රියකදී ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අරමුණ, විශ්වාසය, සටන්කාමී ස්වභාවය සහ ජයග්‍රහණය සඳහා ඇති ආශාව පෙන්නුම් කරනවා. අද මේ සියල්ල ඉන්දියාව ජයග්‍රහණය කිරීමට උපකාරී වුණා. කණ්ඩායමට සුබ පැතුම්." හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මිතාලි රාජ් එසේ සටහනක් කර තිබුණාය.