ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරයා තෝරාගැනීම දැඩි රැකවල් මධ්‍යයේ
ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ප්‍රංශ ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති.
මීට තෙදිනකට පෙර (අප්‍රේල් 20) පැරිසියේ පොලිස් භටයන් කිහිපදෙනෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.
ඡන්ද මධ්‍යස්ථාන සහ අවට ආරක්ෂාව තරකිරීම සඳහා පොලිස් භටයන් 50,000ක් සහ හමුදා භටයන් 7,000ක් ප්‍රංශය පුරා යොදවා ඇත.
අනාවැකි
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් එකොළොස්දෙනෙක් තරග බිමට අවතීර්ණවී සිටිති.
එම එකොළොස්දෙනා අතරරින් සිව්දෙනෙකුම කරට කර ඉදිරියෙන් සිටීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව කිසිදු විශ්ලේෂකයෙකුට අනාවැකි පළකිරීමට හැකියාවක් ලැබී නැත.
බොහෝ විශ්ලේෂකයන් අනුමාන කරන පරිදි, මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් දිනාගැනීමට කිසිවෙකු සමත් නොවුනහොත් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගත් දෙදෙනා අතර, දෙසතියක ඇවෑමෙන් අවසාන ඡන්ද වටය පැවැත්වීමට නියමිත ය.
ජාතික ආරක්ෂාව
සියලු අපේක්ෂකයන් වාද විවාද රැසකට මුහුණදුන් අතර මෙවර ජනාධිපතිවරණයේ දී බොහෝදෙනාගේ අවධානයට සහ කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකා බවට පත්වූයේ යුරෝපා හවුල, සරණාගත ප්‍රශ්නය, ආර්ථිකය සහ ප්‍රංශ අනන්‍යතාව ය.
මෙම සියලු කාරනා පිළිබඳව සාකච්ඡා කෙරෙන අතරතුර ඉස්මතු වූයේ ජාතික ආරක්ෂාව පිළිබඳව එක් එක් අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන යෝජනා මාලාව ය.
මීට දින තුනකට පෙර පැරිසියේ පොලිසියට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවලංගු කිරීමට බොහෝ අපේක්‍ෂකයන්ට සිදුවිය.
ප්‍රංශයේ වේලාවෙන් පෙරවරු 8.00ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත වූ අතර රාත්‍රී 8.00 දක්වා ඡන්ද ප්‍රකාශකිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.