ඇඟලුම් සමාගම් බංග්ලාදේශ් කම්කරු දඩයම හෙළාදකිති

වැඩි වැටුප් ඉල්ලමින් පසුගිය දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේ දියත් කෙරුණ වැඩ වර්ජනයෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයන් සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ සේවකයන් ගණනාවක් සිරභාරයේ තබා ඇති බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.
ඉවක් බවක් නැතිව බංග්ලාදේශ් වෘත්තීය සමිති සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබීම වැඩිවෙමින් ඇති බව එම මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.
හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය බංග්ලාදේශයේ සිදු කෙරෙන කම්කරු දඩයම දෝෂ දර්ශනයට ලක්කර තිබෙන්නේ ,එය දේශපාලන උවමනා අනුව පොලිසියේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් හැටියට විග්‍රහ කරමිනි.

එච් ඇන්ඩ් එම් , ගැප් ,සහ ප්‍රයිමාර්ක් ඇතුළු ජාත්‍යන්තර මට්ටමින් ජනප්‍රිය රෙදිපිළි වෙළෙඳ සමාගම් ගණනාවක්, බංග්ලාදේශයේ වෘත්තීය සමිති නායකයන් දඩයම් කරනු ලැබීම ගැන කනගාටුව පළ කරමින් අගමැතිනි ෂේක් හසීනාට ලියා ඇති බවත් වාර්තාවෙයි.
එසේම බංග්ලාදේශ් ඇඟලුම් අංශයේ සේවක වැටුප් යළි සලකා බැලීම සම්බන්ධයෙන් ද ඉහත කී වෙළෙඳ සමාගම්වල සහයෝගය පළ වී ඇත.




