ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත්ම තුරුම්පුව

ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත්ම තුරුම්පුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා."

සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය.

'Air Force One' ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට අදාළ විධායක නියෝගය ප්‍රකාශයට පත්වනු ඇති බවය.

Grey line
Grey line

ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පළමු විධායක නියෝගය ඇමෙරිකානු අධිකරණය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

Syrian refugee Baraa Haj Khalaf (left), hugs her father Khaled Haj Khalaf as she arrives at O'Hare International Airport in Chicago, 7 February 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකාලමින් පැනවූ ජනාධිපති විධායක නියෝගයට විරෝධය පළකොට දහස් ගණන් ඇමරිකානුවෝ උද්ඝෝෂණ කළහ

ජනාධිපති විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

"මේ සටන අපි දිනයි" යනුවෙන් මාධ්‍යවේදීන්ට කියාසිටි ජනාධිපතිවරයා "අවාසනාවකට ඒ සඳහා කාලයක් ගත වෙනවා. අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය.