ට්‍රම්ප් දෙවැනි වතාවටත් පරදියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන් සම්බන්ධයෙන් පැනවූ ජනාධිපති විධායක නියෝගය අත්හිටුවමින් දී තිබුණ අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.
ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ විධායක නියෝගය එරට අධිකරණයක් විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර සිය විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිය විධායක තීන්දුව යළි ස්ථාපිත කිරීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිචාරය පළකරන ලද්දේ කෝපයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකාවේ ආරක්ෂාව අනතුරක පවතින බව පැවසූ ජනාධිපතිවරයා වාර්තාකරුවන් ඉදිරියේ අදහස් දක්වමින් කියා සිටියේ එය ඉතාමත් බරපතළ තත්වයක් බවය.
අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති විධායක නියෝගය අත්හිටුවමින් දුන් පළමු අධිකරණ තීන්දුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනා විසින්ද තහවුරු කරන ලද්දේ ඒකමතිකවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති විධායක නියෝගයට එරෙහිව පළමුව නෛතික ක්‍රියාමාර්ග ගත් වොෂිංටන් ප්‍රාන්තයේ නීතිපති බොබ් ෆර්ගියුසන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රශංසාවට ලක් කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 'ජනාධිපතිවරයා ඇතුළු සෑම පුද්ගලයකුටම ඇමරිකාව තුළ නීතිය එකලෙස ක්‍රියාත්මක වීම' ඉන් පිළිබිඹුවන බවය.










