උපපොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට අධිකරණය දුන් දඬුවම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේදී වාහනයකින් ගමන් කරමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමෙන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු උපපොලිස් පරීක්ෂකවරයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
එම තීන්දුව ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකාර පොලිස් පරීක්ෂකවරුන් තිදෙනාට නියෝග කළේ, ඒ වෙනුවෙන් ප්‍රහාරයට ලක්වූ නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව ය.
ඒ අනුව, මාරවිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ මෙත්සිරි ප්‍රනාන්දු ගජනායක, පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක කුලතුංග හෙට්ටිආරච්චිගේ සමන්ත සහ අල්ලස් කොමිසමට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක නලින් ප්‍රසංග යන අය විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ 05 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ද තීන්දුවේ සඳහන් විය.
මෙම පහර දීමේ සිද්ධියෙන් පසුව පෙත්සම්කාර උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරී එච්. ඩී. එස්. තුසිත කුමාර විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත්, ඒ තුළින් ඔහු පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පෙත්සම්කරුට රුපියල් 50000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවනු ලැබිය යුතු බව ද නියෝග කළේ ය.
ප්‍රහාරයට ලක්වූ ගම්පහ පොලිසියේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු වන ටී.එච්. චතුරංග දිසානායක ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නවාස් විනිසුරුවරයා කියා සිටියේ, "2022 වසරේ ජනවාරි මස 29 වන දා පෙත්සම්කරු මහව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට මිතුරන් දෙදෙනකු සමග වාහනයකින් යළි සේවයට පිටත්ව තිබේ. එදින රාත්‍රී 7.30ට පමණ වරකපොල '36 කන්ද' නමැති ප්‍රදේශය හරහා ගමන් කළ අවස්ථාවේ මිට්සුබිෂී මොන්ටේරෝ ස්පෝර්ට්ස් ලෙස හඳුනාගෙන ඇති ජීප් රථයක් පෙත්සම්කරුගේ වාහනයට පිටුපස ආක්‍රමණශීලී ලෙස නලා නාද කරමින් ලුහුබැඳ පැමිණ තිබේ.
මාර්ගයේ ඉඩකඩ නොමැති නිසා පිටුපසින් පැමිණි වාහනයට ඉදිරියට යාමට ඉඩ දීමට පෙත්සම්කරුට නොහැකි වී ඇත.
මෙසේ ගමන් කරද්දී එක්තරා අවස්ථාවක පිටුපසින් පැමිණි වාහනය පෙත්සම්කරුගේ වාහනය පසුකරගෙන ගොස් ඉදිරියෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය මැද නවතා තිබේ. මේ නිසා පෙත්සම්කරුගේ පමණක් නොව පිටුපසින් පැමිණි වාහන ද නතර වීම හේතුවෙන් වාහන තදබදයක් ඇති විය. පසුව ඉදිරිපසින් නැවැත්වූ වාහනයෙන් බැස පිටතට පැමිණි වගඋත්තරකාර ගජනායක නමැති පොලිස් පරීක්ෂකවරයා පෙත්සම්කරු අසුන්ගෙන සිටි වාහනය අසලට පැමිණ පෙත්සම්කරුට පහර දී තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊට අමතරව වග උත්තරකාර සමන්ත සහ නලින් ප්‍රසංග යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ද පෙත්සම්කරුගේ වාහනය අසලට පැමිණ පෙත්සම්කරුට සහ වාහනය තුළ සිටි ඔහුගේ මිතුරන් දෙදෙනාට පහර දී තිබේ.
තමන් පොලිස් නිලධාරියෙකු බව පෙත්සම්කරු නැවත නැවත කෑ ගසා ප්‍රකාශ කළ ද වගඋත්තරකරුවන් තුන් දෙනා නොකඩවා ඔහුට පහර දී තිබිණි.
එම අවස්ථාවේ වගඋත්තරකාර නිලධාරීන් තුන් දෙනා බීමත්ව සිටි බවත්, ඔවුන් වෙතින් මත්පැන් දුගඳ වහනය වූ බවත් පෙත්සම්කරු සඳහන් කරයි," යනුවෙනි.
විනිසුරුවරයා මෙසේ ද සඳහන් කළේ ය, "මෙම නඩු විභාගයේදී පහර දීම සිදුවූ ස්ථානයට අසලින් පිහිටි වෙළෙඳ සලක සීසීටීවී දර්ශන ද අධිකරණයට ඉදිරිපත් විය.
එම සීසීටීවී දර්ශන පිරික්සීමේදී වග උත්තරකරුවන් තුන්දෙනා පෙත්සම්කරුට පහර දී හිරිහැර සිදු කරන ආකාරය තහවුරු විය. එම නිසා අදාළ පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට සැකයක් මතු නොවේ. ඉන්පසුව පෙත්සම්කරු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදීන් අනාවරණය වූයේ මෙම පහර දීම හේතුවෙන් පෙත්සම්කරුගේ වම් අතේ වැලමිට ආබාධයකට ලක්වී ඇති බව ය.
මේ නිසා පෙත්සම්කරුට ඔහුගේ වම් අත සාමාන්‍ය ලෙස චලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. එය පොලිස් නිලධාරියකු ලෙස ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට බාධාවක් වූ බවත් පෙත්සමේ සඳහන් වෙයි."
"මෙම සිද්ධියෙන් පසුව වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරුන් තුන්දෙනා වරකපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, තමන් සිය මිත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටි බව ය. එහිදී වගඋත්තරකාර ගජනායක නමැත්තා වාහනය සමග එදින ම නිදහස් කෙරුණු අතර, අනිත් වගඋත්තරකරුවන් දෙදෙනා වරකපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදා හැර තිබේ. අනතුරුව 2022 වසරේ පෙබරවාරි මස 03 වන දා වරකපොල පොලිසියේ නිලධාරීන් විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන තිබේ. පසුව වගඋත්තරකාර ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පෙත්සම්කරුගේ වැඩ තහනම් කර තිබේ," යනුවෙන් විනිසුරුවරයා පැවසීය.
තවදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ නවාස් විනිසුරුවරයා, "මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් වතුපිටිවල රෝහල ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔහුට තුවාල තුනක් සිදුවී ඇති බව පැහැදිලි ය. ඔහුගේ වම් අත ආබාධයකට ලක්ව තිබේ. ඒ නිසා ඔහුට එම අත නිදහසේ චලනය කිරීමට නොහැකි ය. එය පොලිස් නිලධාරියෙකු වශයෙන් පෙත්සම්කරුට සිය රාජකාරි බාධාවකින් තොරව ඉටු කිරීමට බාධාවක් වී තිබේ. මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කරුට බරපතළ වධ හිංසාවකට හෝ අමානුෂික සැලකීමකට භාජනය කර තිබෙන බව පැහැදිලි ය. මේ තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කරු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ. මෙම සිද්ධියෙන් පසුව වගඋත්තරකාර ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පෙත්සම්කරුගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. එම වැඩ තහනම නීතියට පටහැනි ය. එම නිසා 2022 වසරේ මැයි මස 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයකට අනුව පෙත්සම්කරු නැවත සේවයේ පිහිටුවන ලදී. පිළිගත හැකි සහ තාර්කික හේතුවක් නොමැතිව කිසිදු උසස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුගේ වැඩ තහනම් නොකළ යුතු ය. මෙම අනීතික ක්‍රියාව වග උත්තරකාර ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ," යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව ඉහත කී නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.
































