රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: 'රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි පෙනී යන' බව මහේස්ත්‍රාත් කියයි

රනිල් සහ මෛත්‍රී වික්‍රමසිංහ සිටින ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබිණි.

සැකකාර රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරු අධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළහ.

නඩුවේ දෙවන සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයේ පෙනී සිටියේ ය.

'ට්‍රාන්සිට් කියන්නේ මේවට ද?'

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් "ස්වාමීනි.. මෙම විමර්ශනය මේ වන විට බොහෝ දුරට අවසන් වෙලා තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්න මාලාවක් යොමු කර පිළිතුරු ලබාගෙන තිබෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් 2025 අංක 25 දරන සහ සාපරාධී කාරණාවලට අදාළ අන්‍යයෝන්‍ය සහයෝගිතාව ලබා ගැනීමේ පනත යටතේ විදේශ අමාත්‍යංශය හරහා මෙම කරුණු පිළිබඳව නිල වශයෙන් විධිමත්ව තහවුරු කර ගැනීමට අවශ්‍ය දැයි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව තිබෙනවා," යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, "ස්වාමීනි... ඉකුත් විසි හතර වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් විමර්ශකයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මා පොලිසියට උපදෙස් ලබා දුන්නේ සියලු ම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගත යුතු බවටයි. නමුත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශය ඔවුන් ලබාගෙන තිබෙන්නේ ඇයගේ නිවසට ගොසින්. ඇතැම්විට විමර්ශන කඩිනම් කිරීම සඳහා ඔවුන් එසේ කළා විය හැකියි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා අදාළ විශ්වවිද්‍යාලයෙන් තමන්ට ආරාධනාව ලැබුණේ, 2023 වසරේ ජූනි මස 15 වන දා බවට. ඊට අදාළව ඇය විසින් ඉදිරිපත් කළ ලිපිය මා අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ ලිපිය පළමු වරට ඉදිරිපත් වෙන්නේ ඇයගේ ප්‍රකාශය හරහා. මීට පෙර විත්තියේ නීතිඥවරු මෙවැනි ලිපියක් ගැන අධිකරණයට සඳහන් කළේ නැහැ. එම ලිපිය ඔවුන් වසන් කළා. නමුත් සැකකරුගේ නීතිඥවරු කලින් ප්‍රකාශ කළේ මෙම ආරාධනාව 2023 සැප්තැම්බර් මස 01 වැනිදා ලැබුණු බවට. සැකකාර පාර්ශ්වය නිතරම සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයට ගියේ ට්‍රාන්සිට් එකක් හැටි කියලා. ඒක පිළිගන්න බෑ ස්වාමීනී. ට්‍රාන්සිට් එකක් නම් මීළඟ ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. නමුත් එසේ සිදුවෙලා නෑ. ඔහු ලන්ඩනයේ සිට කිලෝමීටර් 200 ක් එපිටට ගමන් කර තිබෙනවා. හෝටල් වෙන්කර රැඳී සිට තිබෙනවා. ට්‍රාන්සිට් කියන්නේ මේවට ද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මෙම නඩුකරයේ සැකකාරියක වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටිනවා. ඇය විසින් ලබාදුන් ප්‍රකාශය අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගන්නවා" යනුවෙන් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මම අධිකරණයට ආවේ මේ නඩුව අදින් ඉවර වෙයි කියලා හිතාගන. මුලින්ම අපි අධිකරණයට ඉදිරිපත් කළා වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් මගේ සේවා දායකයට ලැබුණු ආරාධනා ලිපිය. ඒක ව්‍යාජ ලිපියක් කියලයි පැමිණිල්ල කිව්වේ. නමුත් ඒ විශ්වවිද්‍යාලයේ දැන් එවා තිබෙන පිළිතුරු වලින් පැහැදිලි වෙනවා එම ලිපිය නීත්‍යානුකූල ලිපියක් බවට. ඒක නිල ආරාධනාවක් බවටත් පැහැදිලි වෙලා තිබෙනවා. ඉන් පසුව කිව්වා මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කියලා. දැන් පැහැදිලි වෙලා තිබෙනවා ඒක බ්‍රිතාන්‍ය රජය මගින් පාලනය වන විශ්ව විද්‍යාලයක් බවට. ස්වාමීනි මේකේ ඇත්තටම නඩුවක් නෑ. මෙතන හොයන්න තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මේ වැඩේට මිලියන 16ක් වියදම් කළේ කොහොමද? කියන කාරණය ගැන. සැකකාර රනිල් වික්‍රමසිංහ මේ වියදම් ගැන කිසිවක් දන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන් කටයුතු සඳහා ස්කයි වින්ස් නැමති ආයතනයකින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය රුපියල් මිලියන 3.5 ක් වැය කර වාහන පහක් ලබාගෙන තිබෙනවා. ඒ කිසිම වාහනයක් ජනාධිපතිවරයා පාවිච්චි කර නෑ. රාත්‍රී ආහාරය සඳහා මිලියන දෙකක් වැය කරලා තිබෙනවා. ස්වාමීනි මිලියන දෙකක රෑට කන්න පුළුවන්ද? මිලියන 2කට ස්වාමීනි බ්‍රිතාන්‍යයේ මාසයක් පමණ කන්න පුළුවන්. ඔහු නැවතිලා හිටියේ කුඩා හෝටලයක. ඒක අපේ රේණුකා හෝටලය වගේ. ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කළා ම පේනවා ඒ හෝටලයට යන වියදම ඉතා අඩු බවට. ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන අක්‍රමිකතාවක් වෙලා තිබෙනවා කියලා. ඒ ගැන තමයි සොයා බැලිය යුත්තේ. ස්වාමීනි.. විදේශ වලට ගියාම අපිත් ගෙවීම් කරනවා. ගණන් බලන්නේ නෑ" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ මහේස්ත්‍රාත්වරයා" ඒ කාරණය අධිකරණයට පිළිගන්න බෑ. මහජන මුදල් ඒ ආකාරයට වියදම් කරන්න බෑ. ඒ නිසා මා ප්‍රකාශ කරනවා මේ වියදම් සිදු කර තිබෙන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසට" යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා, " ස්වාමීනි... ට්‍රාන්සිට් එකක් කියන්නේ ලන්ඩනයෙන් බැහැලා ඊළඟ ප්ලේන් එකෙන් ලංකාවට එන එක නෙවෙයි. සෞඛ්‍ය තත්ත්වය අනුව වික්‍රමසිංහ මහතාට විවේකයක් ගන්න අවශ්‍යයි. ඒ වගේම බ්‍රිතාන්‍ය රජයෙන් අපිට ආරක්ෂාවක් ලබා දුන්නා. බොහෝ දෙනා ප්‍රකාශ කරනවා රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයට ගියේ ඔහුගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට කියලා. ඒක වැරදියි. ඔහු ගියේ අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපති පෝල් ස්වරාජ් ස්වාමිවරයාගේ 25 වන සංවත්සරයට සහභාගිවීමට" යනුවෙන් පැවසීය.

'සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා'

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලය මුදල් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම අවශ්‍ය බවත් අවධාරණය කළේය.

ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව සැකකාර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කරුණු දක්වමින් මෙම වියදම් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කර ඇති බව පැවසීය.

එම වියදම් විගණනය කිරීමට තම සේවා දායකයාට බලයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනි මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයට අනුව මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ආරාධනා ලැබෙන්නේ ජුනි මස 15 වනදා. එම උපාධි ප්‍රදානෝත්සවය හරියටම රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකාවේ සංචාරයක නිරත වන සැප්තැම්බර් මාසයේ යොදාගන්නේ කොහොමද? ඒ ගැන අදාළ විශ්ව විද්‍යාලය කලින් දැනගෙන හිටිය ද? මේ තුළින් මනාව පැහැදිලි වෙනවා සැකකරුවන් හා අදාළ විශ්ව විද්‍යාලය අතර අන්තර් සම්බන්ධයක් තිබුණු බවට. කුමන්ත්‍රණයක් තිබුණු බවටත් පැහැදිලි වෙනවා. සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවා බ්‍රිතාන්‍ය සංචාරය ඒ මහතාගේ ට්‍රාන්සිට් එකක් බවට. මේක පුදුම ට්‍රාන්සිට් එකක්. මේ ට්‍රාන්සිට් එකේදී වික්‍රමසිංහ මහතා කිලෝමීටර් 400 ක් එහේ මෙහේ යනවා. පැය 36 ක් රැඳී සිටිනවා. ඒක ට්‍රාන්සිට් එකක්ද? මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයත් අපි අධ්‍යයනය කරනවා. ඇය සැකකාරියෙක් වශයෙන් නම් කරනවාදැයි සොයා බලනවා." යනුවෙන් දිලීප පීරිස් සඳහන් කර සිටියේ ය.

මෙහිදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා "මේ උපාධි ප්‍රදානෝත්සවය සංචාරය කරන කාලයේ යොදාගත්තේ කොහොම ද?"යනුවෙන් සැකකරුගේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ලංකාවේ මෙන් නොව බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සවය දින කිහිපයක් පැවැත්වෙන බවයි.

ඒ අනුව මෙම දිනය යොදාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ "ඉදිරිපත් වී ඇති කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා. නමුත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශය සලකා බැලීමේදී ඇයගේ ප්‍රකාශය තුළ අපරාධමය මානසික අංගයක් අනාවරණය වන්නේ නෑ. ඇය සැකකාරියක් වශයෙන් නම් කරනවා නම් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ යුතුයි. ප්‍රමාද කිරීමට හැකියාවක් නෑ. ඉක්මනින් විමර්ශන අවසන් කළ යුතුයි," යනුවෙන් සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා, "සියලු කරුණු ගැන විමර්ශනය කරන්න. සත්‍ය සොයා ගැනීම වැදගත්. ආරාධනාවක් අනුව සැකකරු අදාළ උපාධි ප්‍රදානෝත්සවයට ගිහින් තිබුණත් ඒක නිල ආරාධනාවක් වශයෙන් පිළිගන්න බෑ. නිල ආරාධනාවක් නම් ඒ තුළ රාජ්‍යතාන්ත්‍රිකභාවයක් තිබිය යුතුයි. රජයන් හරහා එය සිදුවී තිබිය යුතුයි. එසේ නොමැතිව විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් තිබූ පමණින් එම ආරාධනය නිල ආරාධනාවක් වන්නේ නෑ," යනුවෙන් පැවසීය.

අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව තත්ත්වය කෙසේ ද?

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇමතු මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරයට අදාළ අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව තත්ත්වය කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්, "ඊළඟ නඩු දිනට පෙර අධිචෝදනා ගොනු කරන්න අපි කටයුතු කරනවා" යනුවෙන් සඳහන් කර සිටියේ ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, "විමර්ශනවලට කාලය අවශ්‍ය බව අධිකරණය පිළිගන්නවා. පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශ කළා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට. ඒත් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙන්නේ මේ මාසයේ. මේ ආකාරයට අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම සුදුසු නෑ. මොක ද ඕනෑවට වඩා නඩු පැවරීම ප්‍රමාද වුණා ම අපරාධ නඩුවක තිබෙන වැදගත්කම නැති වෙනවා" යනුවෙන් සඳහන් කළේ ය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ජූලි මස 08 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.