පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට 'අතුරු ආබාධ නැති අලුත් ප්‍රතිකාරයක්'

නව ප්‍රතිකාර ක්‍රමය
ඡායාරූප ශීර්ෂ වැකිය, 'හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා'

Prostate Cancer හෙවත් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට මූලික අවධියේදීම ප්‍රතිකාර කෙරෙන නව ක්‍රමවේදය මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව බොහෝ දුරට සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

යුරෝපයේ රටවල් ගණනාවක දැනටමත් අත්හදා බලා තිබෙන මේ ක්‍රමවේදය අනුව පිළිකාවට ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගනු ලබන්නේ ලේසර් කිරණ සහ ගැඹුරු මුහුදෙන් සොයා ගත් බැක්ටීරියා වර්ගයකින් නිපදවුණු ඖෂධයක්.

රෝගියාට කිසිදු අතුරු ආබාධයක් හට නොගැනීම මේ ඖෂධයේ විශේෂත්වයයි.

පුරුෂයන් 413 දෙනකු යොදා ගෙන පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව The Lancet Oncology සඟරාවේ පළ කරන ලද වාර්තාවකට අනුව එම රෝගීන්ගෙන් අඩක්ම සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව හෙළි වී තිබේ.

"මේක අමුතු විදියක ප්‍රතිකාරයක්. මේකේ සංඝටක දෙකක් තියෙනවා," University College London විශ්ව විද්‍යාලයේදී නව ප්‍රතිකාරය අත්හදා බැලූ මහාචාර්ය මාක් එම්බර්ටන් බීබීසී යට පැවසීය.

"එකක් තමයි ඖෂධය. ඒ මගින් ශරීරයේ පටක ආලෝකයට ඉතා සංවේදී බවට පත්කරනවා. ඒ නිසා ශරීරයේ හම ආලෝකයට විවෘත නොවීම සඳහා අපිට ඒ ඖෂධය ලබාදෙන්න සිද්ද වෙන්නේ අඳුරු පරිසරයක් තුල. ඊට පස්සේ හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා."

නව ප්‍රතිකාර ක්‍රමය
ඡායාරූප ශීර්ෂ වැකිය, නව ප්‍රතිකාර ක්‍රමයේ අවස්ථා

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට ප්‍රතිකාර වශයෙන් සාමාන්‍යයෙන් සිදු කෙරෙන සැත්කම් සහ විකිරණ චිකිත්සාවෙන් අනතුරුව බොහෝ පුරුෂයන් බෙලහීනතාවයට පත්වීම එහි ප්‍රධානම අතුරු ප්‍රතිඵලයක්.

ප්‍රතිකාර ලබන පුරුෂයන් දස දෙනකුගෙන් නම දෙනකුගේම පුරුෂ ශක්තිය හීනවන අතර, රෝගීන්ගෙන් සියයට විස්සක් දක්වා පිරිසක් උදරාබාධවලට මුහුණ දෙති.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ මූලික අවධියේදී බොහෝ පුරුෂයන් ඒ පිළිබඳව කල් මැරීමේ ආකල්පයක් දක්වන්නේ එබැවින්. මේ අතුරු ආබාධ හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාරවලට පෙළඹෙන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ශරීරය පුරා පැතිරයාම ආරම්භ වුවහොත් පමණයි.

එහෙත් නව ප්‍රතිකාරය අනුව ඒ සියල්ල වෙනස් වන බවයි, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ.

"ආලෝකය සහ ඖෂධය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මගින් පිළිකා සෛල විනාශ කෙරෙනවා. ඒ වගේම පිළිකාව බෙදාහරින පුරස්ථි ග්‍රන්ථයේ රුධිරයටත් මේ ප්‍රතිකාරය බලපානවා. ඒක ඉතාමත්ම වැදගත්," මහාචාර්ය මාක් එම්බර්ටන් පැවසීය.

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි නව ප්‍රතිකාරය සඳහා යොදාගන්නා ඖෂධය නිපදවනු ලබන්නේ මුහුදු පතුලෙන් සොයාගන්නා බක්ටීරියාවක් යොදාගෙන තද අඳුරු පරිසරයක. එය පිළිකා සෛලවලට පහරදෙන්නේ ආලෝකයට අනාවරණය වූ මොහොතේදී.

Patient Gerald Capon says he feels incredibly lucky
ඡායාරූප ශීර්ෂ වැකිය, අත්හදා බැලීමට තෝරාගැනීම සිය 'වාසනාවක්' බව ප්‍රතිකාරයෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ ජෙරල්ඩ් කැපෝන් බීබීසී යට පැවසීය

පුරස්ථි ග්‍රන්තියට ඇතුළු කෙරෙන ලේසර් කිරණ මගින් ඖෂධය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ ඖෂධය පිළිකා සෛල සොයා ගොස් විනාශ කිරීම අරඹන්නේ ඒ මොහොතේයි.

පිළිකා සෛල විනාශ වූ පසු ඉතිරි වන්නේ ඉතා සෛඛ්‍ය සම්පන්න පුරස්ථි ග්‍රන්ථියක්.

යුරෝපය පුරා රෝහල් 47 ක කරන ලද අත්හදා බැලීමේදී එයට සහභාගි වූ රෝගීන්ගෙන් 49% ක්ම පූර්ණ සුවය ලබා තිබේ.

"අපි ප්‍රතිකාර කරපු රෝගීන්ගෙන් අඩක්ම පූර්ණ සුවය ලැබුවා. එහෙම නැත්නම් පැතිරීම අඩු වුනා," මහාචාර්ය මාක් එම්බර්ටන් පවසයි.

"ඒ වගේම විකිරණ චිකිත්සාව වගේ ප්‍රතිකාර අවශ්‍ය කරන පිරිස අඩු වුනා. මේ සියල්ලටම වඩා ප්‍රධානම දේ හැම රෝගියෙක්ම වගේ කිසිම අතුරු ආබාධයක් නැතිව සුවය ලැබීම."

ප්‍රතිකාර ලැබීමෙන් පසුව පුරස්ථි ග්‍රන්ථිය ඉවත්කිරීම අවශ්‍ය වී තිබෙන්නේ රෝගීන්ගෙන් 6% දෙනකුගේ පමණයි.

කෙසේ නමුත් මේ නව ප්‍රතිකාරය තවමත් රෝගීන්ට ලබාදීම ආරම්භ වී නැහැ. මෙය කෙතරම් සාර්ථක ප්‍රතිකාරයක්ද යන්න ඖෂධ පාලක බලධාරීන් විසින් ලබන වසර මුලභාගයේදී සලකා බැලීමට නියමිතයි.