ඉක්වදෝරයේ භූමිකම්පාවකින් පුද්ගලයන් 77 ක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, Amateur video shows the moment the earthquake struck

ඉක්වදෝරයේ ඇතිවූ රික්ට මාපකයේ 7.8 ක අධිබල භූමිකම්පාව හේතුවෙන් අවමවශයෙන් 77 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වී 500 කට වැඩිපිරිසකට තුවාල සිදු වී ඇති බව උප ජනාධිපති ජෝර්ජි ග්ලාස් පවසයි.

1979 න් පසු ඉක්වදෝරයේ සිදු වූ විශාලතම භූමිකම්පාව වන මෙය සිදු වූයේ එරට වේලාවෙන් සෙනසුරාදා සවස 18.58 (ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 23.58) ට පමණ උතුරු ඉක්වදෝරයේ මුයිස්න් නගරය අසළදීය.

මෙම භූමිකම්පාව හේතුවෙන් විශාල විනාශයක් සිදුවී ඇති අතර කිලෝමීටර 300 ක් පමණ දකුණින් පිහිටි ග්වායාක්විල් (Guayaquil) ප්‍රදේශයේ පාලමක් ද විනාශයට පත් වී ඇති බවයි වාර්තාවන්නේ.

Two survivors are pulled from a collapsed building in the city of Manta, 17 April

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්තා නගරයේ දී දිවි බේරාගැනීමේ මෙහෙයුමක් මගින් දෙදෙනෙකු සුන්බුන් අතරින් සොයාගෙන තිබුණි

ඉතාලියේ සංචාරයක් සඳහා යමින් සිටිය දී මෙම පුවත දැනගත් ඉක්වදෝර් ජනාධිපති රෆායෙල් කොරේරා (Rafael Correa) ආපසු පැමිණෙන අතර ඔහු විසින් ඉක්වදෝරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

"මෙය ඉතා වේදනාකාරී අත්දැකීමක්. සාමකාමීව සහ එක්සත්ව සිටින ලෙස මම රටවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි ශක්තිමත් වෙමු අපිට මේ තත්වයෙන් මිදෙන්න පුළුවන්" යැයි ජනාධිපතිවරයා "මහාමාර්ග සහ රෝහල් නැවත ගොඩනගන්න පුළුවන්. එත් නැතිවූ ජීවිත යළි ලබාගන්න බැහැ. ඒක තමයි අපිට ඇති ලොකුම වේදනාව" යනුවෙනුයි ප්‍රකාශ කළේ.

ජනාධිපති ග්ලාස් පැවසුවේ මෙම භුමි කම්පාව හේතුවෙන් 77 දෙනෙකු මරණයට පත්වී ඇති අතර 588 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. අනතුරට පත් සෑම ප්‍රදේශයකට ම ළඟාවීමට තවමත් නොහැකි වී ඇති නිසා එසේ ළඟාවූ පසු ලැබෙන තොරතුරු මත විපතට පත් වූ ඇයගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ඔහු පැවසුවේ

පෙදර්නෙල්(Pedernale) නගරයේ නගරාධිපති ගේබ්‍රියෙල් අල්සිවාර් පැවසුවේ හැකි සෑම දෙයක් කිරීමට ඔවුන් සුදානමින් සිටින නමුත් බොහෝදුරට කළ හැකි දෙයක් නැති බවයි.

මුල් භූමිකම්පාවෙන් පසු කුඩා ප්‍රමාණයේ චලන කිහිපයක් ද සිදුව ඇති අතර ඉන් විශාලතම භූ චලනය රික්ට මාපකයේ 5.4 ක් සටහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

Quake damage in Manta, Ecuador, 17 April

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්තා නගරයට විශාල හානියක් සිදු වී තිබේ