මහින්ද පසෙකට වුනොත් අපි දිනනවා - එස්බී

'මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදය යටතේ මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයෙවුව නම් අපි ආසන 120 ක් විතර ගන්නවා'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදය යටතේ මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයෙවුව නම් අපි ආසන 120 ක් විතර ගන්නවා'

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සහතික කිරීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසෙකට වී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාරදිය යුතු බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි.

"ගිය මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදය යටතේ මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයෙවුව නම් අපි ආසන 120 ක් විතර ගන්නවා," ඔහු පැවසීය.

සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ <link type="page"><caption> සාකච්ඡාවකට එක්වෙමින්</caption><url href="https://audioboom.com/boos/4106928-2016-26" platform="highweb"/></link>.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දෙන කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීමට දරන ප්‍රයත්නය වැළැක්වීම පිණිස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය නියෝජනය කරමින් අමාත්‍ය එස්බී දිසානායක දෙපාර්ශවය සමඟම සංවාදයක නිරතව සිටියි.

'ශ්‍රීලනිපය දෙකඩ උනත් කරන්න දෙයක් නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රීලනිපය දෙකඩ උනත් කරන්න දෙයක් නැහැ'

පැහැදිලිවම පක්ෂය තුල අර්බුදයක් පවතින බව පිළිගන්නා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා පවසන්නේ, ගතව ගිය මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා තරඟ වැදීම නිමිතිකොට ජනපතිවරයා ස්වාධීනව සිටීම හේතුවෙන් පාක්ෂිකයන් බොහෝ දෙනකු ඡන්දය දීමෙන් වැලකී සිටි බවයි.

"ඒකෙන් වුන දේ තමයි, එතුමා තරඟ කළ කුරුණෑගල දිස්ත්‍රික්කේ අපේ වැඩි ඡන්ද 89,000 ඉඳල 30,000 ට වැටුනා."

කෙසේ නමුත් අලුත් පක්ෂයක් පිහිටුවීමේ සූදානම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල අභියෝගයක් නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. (<link type="page"><caption> සාකච්ඡාවට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/4106928-2016-26" platform="highweb"/></link>)

"සමහරුන්ට ඔය දූෂණ යට ගහගන්න, මංකොල්ලකෑම් යටගහගන්න පක්ෂ හදන්න දඟලනවා ඇති. අපිට එහෙම ගැටලුවක් නෑ," අමාත්‍යවරයා පැවසීය.

නව පක්ෂයක් පිහිටුවීමේ සූදානම පිළිබඳව <link type="page"><caption> හිටපු ජනපතිවරයා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/12/151228_ug_mahinda_ajithlal" platform="highweb"/></link> මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් <link type="page"><caption> ගෝඨාභය රාජපක්ෂ</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160122_thisara_gotabhaya_new_party" platform="highweb"/></link> ද ඉඟි කොට තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ සාමාජිකයන් බහුතරයකට එවැනි අවශ්‍යතාවයක් නැති බවයි.

ජනපති මෛත්‍රී සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර රහසිගත සාකච්ඡාවක් සිදුවුනාද?

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපති මෛත්‍රී සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර රහසිගත සාකච්ඡාවක් සිදුවුනාද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා රහසිගතව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමු වූ බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ අමාත්‍ය එස්බී දිසානායකගේ ප්‍රතිචාරය වූයේ: "නෑ එහෙම මට සංදේශයට කියන්න බැහැ, පක්ෂයේ අභ්‍යන්තරයේ කෙරෙන දේවල් පිළිබඳව මම ඇයි සංදේශයට හරි වෙන කාටහරි කියන්නේ?" යන්නයි.

"පක්ෂ අභ්‍යන්තරයේ එහෙම ඕනෑතරම් සාකච්ඡා, සංවාද තියනවා. ඒවා අපි එලියට කියන්නේ නෑ."

ජනාධිපතිවරයා සමඟ එවැනි කිසිදු විශේෂ හමුවක් සිදු නොවූ බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කොට තිබුනේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් ප්‍රතිචාරයක් පළ කොට නැත.

දෙපාර්ශවය අතර සංහිඳියාවක් ඇතිකිරීම් වස් රාජපක්ෂ පරිපාලනයේ ප්‍රධානීන්ට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා ඉවත්කරගන්නා මෙන් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් පිරිසකට යෝජනා කළ බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත චෝදනාවක් බවත් අමාත්‍යවරයා පැවසීය.