නාලක ගොඩහේවා දේශපාලන සිරකරුවෙක් - මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, bbc
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය, ලන්ඩන්
ප්‍රතිවාදී දේශපාලන නායකයන්ට සහ වෘත්තිකයන්ට එරෙහිව දේශපාලන දඩයමක යෙදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරයි.
හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ <link type="page"><caption> විශේෂ සාකච්ඡාවකට</caption><url href="https://audioboom.com/boos/3985510-22-12-15" platform="highweb"/></link> එක්වෙමින්.
ඔහු අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හමුදා සොල්දාදුවන් හමුවීමට බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
එහෙත් තමා බන්ධනාගාර රෝහලට පැමිණියේ දැනට අත්අඩංගුවේ පසුවන නාලක ගොඩහේවා ඇතුළු වෘත්තිකයන් තිදෙනා හමුවීමට බවයි, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරන්නේ.
ඔවුන් හමුවීමට ගිය අවස්ථාවේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම පිළිබඳ චෝදනා ලබා සිටින හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ද මුණගැසුණු බවත් ඔහු පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
"දැන් මේ කට්ටියව දාල තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නේ? ඉතින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මම හිතන්නේ නෑ බුද්ධි අංශයේ රණවිරුවන් අත්අඩංගුවට අරගෙන තියාගන්න ඒක සාධාරණයි කියල."

එම චෝදනාව සම්බන්ධයෙන් සංදේශය විමසීමක් කළ අවස්ථාවේ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අධිකරණය ඉදිරියේ පවතින කරුණක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැලකී සිටීම යෝග්‍ය බවයි.
නාලක ගොඩහේවා ඇතුළු පිරිස අත්අඩංගුවේ පසුවන්නේ තමා වෙනුවෙන් දේශපාලනයේ නිරතවීම නිසා බව පවසන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ඔවුන් විග්‍රහ කරන්නේ 'දේශපාලන සිරකරුවන්' ලෙසින්.
"අද දේශපාලනේ කරපු නිසා තමයි මේ සියලු දෙනා ගන්නේ. පොඩි ලියුම් කෑල්ලක් දුන්නට, ඒ ලියුමක පොඩි ටෙක්නිකල් වරදකට. නැත්නම් මේවා සිවිල් වැඩ නේ?"
බීබීසී ය 'ඒකපාක්ෂිකයි'
කෙසේ නමුත් සිවිල් චෝදනාවක් අපරාධ නඩුවක් බවට පත් කර ඇප ලබා නොදී රඳවාගෙන සිටින බවට ඔහු කරන චෝදනාව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කරයි.

ඡායාරූප මූලාශ්‍රය, dailynews.lk
අදාළ නිලධාරීන් පිරිස අත්අඩංගුවේ පසුවන්නේ පොදු දේපොළ පනත යටතේ ඇප ලබාදිය නොහැකි චෝදනාවක් සම්බන්ධයෙන් බව පවසන සහකාර පොලිස් අධිකාරිවරයා, ඒ පිළිබඳව කිසියම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව අධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.
පසුගිය ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අයිටීඑන් නාලිකාවට අයවිය යුතුව තිබෙන මුදල් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම පවත්වන පරීක්ෂණයද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැඩි විවේචනයට ලක් කළේ 'දේශපාලන වුවමනාව' මත ක්‍රියාකරන බව පවසමින්.
අනතුරුව ඔහු රටේ වත්මන් වාතාවරණය පිළිබඳව පක්ෂග්‍රාහී වාර්තාකරණයක යෙදෙන බවට බීබීසී යට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.
"ජනතාවට තොරතුරු දෙනකොට ඒකපාක්ෂිකව දෙන්න යන්න එපා. අද බීබීසී එක ගැන ලොකුම චෝදනාවත් ඔයාල ඒකපාක්ෂිකව කටයුතු කරනවයි කියන එක," ඔහු පැවසීය.
"ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයිනේ? ඊට වඩා බුද්ධිමත්ව, පුළුල් විදියට හිතන්න." <italic>(<link type="page"><caption> හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/3985510-22-12-15" platform="highweb"/></link>)</italic>
මේ අතර හිටපු ජනපතිවරයා නගන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ සන්ධ්‍යා <link type="page"><caption> බීබීසී සංදේශයට</caption><url href="https://audioboom.com/boos/3985510-22-12-15" platform="highweb"/></link> කියා සිටියේ, සිය සැමියා පැහැර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හමුදා සාමාජිකයන් බේරා ගැනීමට රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන් උත්සාහ දරමින් සිටින බවයි.
හිටපු ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.








