සිරකුටියේදී නිර්මාණකරණයට යොමුවූ සම්මානනීය ලේඛකයා

සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති උත්සවයේදී චූලානන්ද සමරනායකට සම්මානය පිරිනමනු ලැබුවේ ලන්ඩනයේ සිටින මොන්ගෝලියානු තානාපතිවරයා විසින්

ඡායාරූප මූලාශ්‍රය, Chingiz Aitmatov Academy

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති උත්සවයේදී චූලානන්ද සමරනායකට සම්මානය පිරිනමනු ලැබුවේ ලන්ඩනයේ සිටින මොන්ගෝලියානු තානාපතිවරයා විසින්
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය, ලන්ඩන්

අදින් දශක කිහිපයකට ඉහතදී පොලිසියේ හය වැනි තට්ටුවේ සිරකුටියක ගාල් කොට සිටි සමයේ තමා සාහිත්‍යකරණයට යොමු වූ බව පසුගියදා ලන්ඩනයේදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ලේඛක <link type="page"><caption> චූලානන්ද සමරනායක</caption><url href="https://audioboom.com/boos/3940579-2015-13" platform="highweb"/></link> පවසයි.

ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමේ වරදට රැඳවුම් භාරයේ සිටියදී හුදෙකලාව මකා ගනු වස් ඔහු ඉදිරියේ තිබූ එක් විකල්පයක් වූයේ සාහිත්‍යයට යොමුවීම බවයි, 'චූලා' පවසන්නේ.

කිර්ගීස් ජාතික සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතොෆ් ගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන සමුගනිමි ගුල්සාරි කෘතියයි සිරකුටියේදී ඔහුගේ සමීපම මිතුරා වූයේ.

"වාසනාවකට මට රුපියල් විස්සකට නැත්නම් විසිපහකට මේ පොත මට හමුවෙනව පේවුමන්ට් එකේ තියල," ඔහු සඳහන් කළේ ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී මා සමඟ දොඩමලු වෙමින්.

ග්‍රීක පරිවර්තන එකතුවකට, ජනප්‍රිය තුර්කි නළුවකුට, කසකස්තානයේ මහාචාර්යවරයකුට සහ රුසියාවේ මහාචාර්යවරියකටද සම්මාන හිමිවිය (ඡායාරූපයේ මැද සිටින්නේ ඇකඩමියේ ප්‍රධානී මහාචාර්ය රහීමා අබ්දුවයියේවා)

ඡායාරූප මූලාශ්‍රය, Chingiz Aitmatov Academy

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීක පරිවර්තන එකතුවකට, ජනප්‍රිය තුර්කි නළුවකුට, කසකස්තානයේ මහාචාර්යවරයකුට සහ රුසියාවේ මහාචාර්යවරියකටද සම්මාන හිමිවිය (ඡායාරූපයේ මැද සිටින්නේ ඇකඩමියේ ප්‍රධානී මහාචාර්ය රහීමා අබ්දුවයියේවා)

චිංගීස් අයිත්මාතොෆ් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ <link type="page"><caption> පළමු ශ්‍රී ලාංකිකයා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/12/151209_sp_chula_british_award" platform="highweb"/></link> බවට පත්වීමේ භාග්‍යය ලැබූ 'චූලා' එම සම්මානය භාරගැනීම පිණිසයි, ලන්ඩනයට පැමිණ සිටියේ.

<link type="page"><caption> චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය</caption><url href="http://www.aitmatov-academy.org.uk/" platform="highweb"/></link> විසින් ඔහුට එම සම්මානය පිරිනමනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වුණු උත්කර්ශවත් උත්සවයකදී.

සිරකුටියකදී සාහිත්‍යකරණයට යොමු වූ අන්දම රටවල් ගණනාවක නියෝජිතයන් හමුවේ චූලානන්ද සමරනායක සම්මානය භාරගනිමින් විස්තර කළ අවස්ථාවේ සභාවෙන් මතුවුනේ උණුසුම් අත්පොලසන් නාදයක්.

"It was a great speech," කෙනෙක් 'චූලාට' සුභපතනු මා දුටුවේ එම උත්සව සභාවට එක්වීමට මටත් ආරාධනාවක් ලැබී තිබුණු නිසා. <link type="page"><caption> (චූලානන්ද සමරනායක සමඟ සංවාදයට සවන්දෙන්න)</caption><url href="https://audioboom.com/boos/3940579-2015-13" platform="highweb"/></link>

චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුනේ රිග්ල්ස්වර්ත් සාමිවරයා විසින්

ඡායාරූප මූලාශ්‍රය, Chingiz Aithmatov Academy

ඡායාරූප ශීර්ෂ වැකිය, චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුනේ රිග්ල්ස්වර්ත් සාමිවරයා විසින්

"ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමත් එක්කම ඒ පැවතිච්ච මර්දනයට දඩයම් වෙලා මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට ගන්නවා," ඔහු මා සමඟ ඒ අතීතය මෙනෙහි කළේ ඊට දිනකට පෙරාතුව සංදේශය මැදිරියේදී.

"මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට පත්වෙනවා. තුන්පාරක් මම මරණයට මුහුණදෙනවා. තුන්වෙනි වතාවේ මම දීර්ඝකාලීන රැඳවුම් භාරෙකට පත්වෙනවා පොලිසිය සහ හමුදාව විසින් නඩත්තු කරන ලද කඳවුරුවල."

පදික වේදිකාවේදී හමුවුන සමුගනිමි ගුරුසාරි කෘතිය පරිවර්තනය කිරීමට ඔහු යොමුවන්නේ එසේ අත්අඩංගුවේ සිටියදී.

"ඒ නිසා මේ කෘතිය බිහිවෙන්නේ සිරකුටියක් ඇතුලේ. මම පරිවර්තකයෙක් වෙන්නේ එතනින්."

ඉන් අනතුරුව තවදුරටත් අයිත්මාතොෆ් 'සොයා යාමට' පෙළඹුණු සම්මානලාභී පරිවර්තකයා මේ වනවිට කෘති පනහකට වඩා පරිවර්තනය කළ කෘතහස්ත ලේඛකයෙක්.

සිය ජනප්‍රියම ලේඛකයකු වන අයිත්මාතොෆ් ලේඛකයාගේ ජනප්‍රියම නිර්මාණ හයක් සිංහල පාඨකයාට හඳුන්වා දීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා තමා දැරූ වෙහෙස ඇගැයීමකට ලක්වීම පිළිබඳව ප්‍රබල සතුටක් දැනෙන බවත් ඔහු පැවසීය.

නම් දැරූ රුසියානු ලේඛකයන් ගණනාවකගේ කෘති සිංහල පාඨකයාට හඳුන්වා දුන් 'චූලා' පවසන පරිදි පසුකාලීනව තමන් බරපතලම කම්පනයකට පත් කළ ලේඛකයා අනතෝලි රිබාකොෆ්.

"රිබාකොෆ් හඳුන්වා දීමේ ගෞරවය මම පුදකරන්න ඕන පසන් කොඩිකාරට. පසන් කොඩිකාර අරබත් දරුවෝ පරිවර්තනය හරහා තමයි රිබාකොෆ් අපිට හඳුන්වල දෙන්නේ."

(ශ්‍රී ලංකාවේ පරිවර්තන සාහිත්‍යය සහ ගුරු ගීතය චිත්‍රපටය - චූලානන්ද සමරනායක සමඟ සංවාදයේ දෙවැනි කොටස ඉක්මනින්ම)