ජීපීඑස් කොලරයක් නිසා තවත් අලියකු 'ජීවිත අවදානමක'

මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි
    • Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
    • Role, හම්බන්තොට සිට

ජීපීඑස් (GPS) කොලරයක් නිසා තවත් වන අලියකු ජීවිත අවදානමකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.

එසේ 'ජීවිත අවදානමකට' ලක්ව සිටින්නේ වැල්ලවාය වරුනගම ප්‍රදේශය අවට සැරිසරන වයස අවුරුදු දහයක පමණ වන අලියෙක්.

අලින්ගේ ගෙල වටා ජීපීඑස් (GPS) කොලරයක් යොදන්නේ අවුරුදු තුනක් අවසානයේ ඉබේ ගැලවී යන ලෙසයි.

නමුත් ඉහත කී වන අලියාට ජීපීඑස් කොලරය යොදා ඇත්තේ 2010 වසරේදීයි.

ඒ තවත් අලි පැටවුන් තිදෙනෙකු සමග මෙම අලි පැටවා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට මුදා හැරී අවස්ථාවේදීයි.

එසේ මුදා හරින විට අලි පැටවාගේ වයස අවුරුදු පහක් පමණ වූ බවයි පසු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේ.

ජීපීඑස් කොලරය හේතුවෙන් ගෙල සිර වී ඒ වටා ඇති වූ තුවාල හේතුවෙන් අලියකු ජීවිත අවදානමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි.

මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය.

පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අවදානමට මුහුණ දී සිටින අලි පැටවා පිළිබඳ සෙවිල්ලෙන් සිටින බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්ජි රත්නායක ප්‍රකාශ කළේ.

'අපගේ පශු වෛද්‍යවරුන් හා නිලධාරීන් එම අලියා සම්බන්ධයෙන් සෙවිල්ලෙන් ඉන්නේ. එය ඉක්මනින්ම ඉවත් කරන්න කටයුතු කරනවා .ඒ වගේම ඉදිරියේදී ලංකාවේ ජීපීඑස් කොලරයන් පළඳවා තිබෙන සියලුම වන අලින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කොට සමීක්ෂණයක් සිදු කරනවා’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

කසල කෑමට

ගම්වැසියකු පවසා සිටියේ අවදානමට මුහුණ දී සිටින අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්වැසියකු පවසා සිටියේ අවදානමට මුහුණ දී සිටින අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි

මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි.

එසේ මුදා හරිනු ලබන අලි පැටවුන්ට ජීපීඑස් කොලරයක් පළඳවනු ලබන්නේ ඔවුන්ගේ චර්යා රටාවන් හා ගමන් මාර්ගයන් අධීක්ෂණය කිරීමේ අරමුණෙන්.

වසර තුනකට පසු ඉබේ ගැලවී යන ආකාරයට එම ජීපීඑස් කොලර පළඳවනු ලබයි.

වසර තුනක් යන තෙක් සතුන් පිළිබඳ අදාළ අංශයන් නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම අනිවාර්ය වේ.

නමුත් කුමන හෝ කරුණක් මත මෙම වන අලියා අධීක්ෂණය කටයුතුවලින් මඟ හැරී තිබේ .

අලි පැටවුන් හට ජීපීඑස් කොලර පැළඳවීමේදී නිසි අධීක්ෂණයක් තිබීම අනිවාර්ය වන්නේ එම සතුන් නිරන්තරයෙන් වැඩීමට ලක් වන නිසායි.

ගම්වැසියකු පවසා සිටියේ ඉහත කී අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි.

කසල ආහාරයට ගැනීම සඳහා වැල්ලවාය ආලපල්ලම රජයේ තෙක්ක වගාවට අයත් එම ස්ථානයට වන අලි නිරන්තරයෙන් පැමිණෙති.

සෙවිල්ලෙන්

ලංකාවේ වන අලින්ට පළඳවනු ලබන ජීපීඑස් කොලරයන් මුල් කාලීනව ගෙන් වන ලද්දේ ඉන්දියාව ,අප්‍රිකාව ,නවසීලන්තය , වැනි රටවලිනි.

මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය

ඡායාරූප මූලාශ්‍රය, B

ඡායාරූප ශීර්ෂ වැකිය, මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය

නමුත් වර්තමානයේ එම කොලරයන් ගෙන්වනු ලබන්නේ ස්වීඩනයෙන්.

ස්වීඩනයේ නිෂ්පාදිත ජීපීඑස් කොලරයන් බරෙන් අඩු බවත් ගුණාත්මක භාවය ඉහළ බවත් වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි .

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට, වන අලි පිළිබඳ පර්යේෂණ ,ඔවුන්ගේ වාසස්ථාන වෙනස් කිරීමේදී ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලීම සඳහා ජීපීඑස් කොලරයන් හරහා ඉඩ සැලසේ.

වන අලින්ගේ නිජ බිම් වූ අප්‍රිකානු රටවල මෙන්ම ආසියානු රටවලද ජීපීඑස් කොලරයන් භාවිතා කරනු ලැබේ.

එම තාක්ෂණය භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ 1996 වර්ෂයේ දී උතුරු මැද පලාතෙනි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න ප්‍රකාශකළේ සිටියේ 'ඇත්තෙන්ම ජීපීඑස් කොලරයන් ලෝකයේ නිපදවන්නේ ඉතා අතලොස්සක් වූ සමාගම් කීපයක්. ඒවා නිපදවන්නෙත් ලබා දෙන ඇනවුම් මත මොකද කොලරයක් ගොඩක් මිල අධිකයි .ඒ වගේම මේවා නිපදවන්නේ බොහෝදුරට අප්‍රිකානු රටවල තිබෙන දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට ගැලපෙන්න. ඒ අනුව එම කොලරයන් ඉබේ ගැලවී යනවා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක වන අලින්ට ජීපීඑස් කොලරයන් පැලදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු නිසි අධීක්ෂණයක් තිබිය යුතුයි' යනුවෙනි.