‘කරපටි බර වුණිද දුප්පත් ඇතින්නියේ’

    • Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
    • Role, හම්බන්තොට

ඡායාරූප මූලාශ්‍රය, B

සූරියවැව කුඩා ඉදිවැවදී ඔක්තෝබර් 14 වෙනි දින මරණයට පත් ඇතින්නගේ ජීවිත ඉරණම තීන්දු කෙරුණේ අලින්ට පළඳවන ජී.පී.එස් (GPS) කරපටිය නිසා බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

වන ඇතින්න මියගොස් ඇත්තේ ජී.පී.එස් (GPS) කරපටිය නිසා ගෙල ප්‍රදේශයේ හට ගත් තුවාලයෙන් ඇති වූ ආසාදන තත්වයක් නිසා බවයි, පශු වෛද්‍ය විජිත පෙරේරා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබෙන්නේ.

ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට සූරියවැව කුඩා ඉදිවැව ප්‍රදේශයේ දී මරණයට පත් ඇතින්න සොයා ගැනීමට හැකි වුණි.

අලි ඇතුන් කරලන GPS කරපටය

ඡායාරූප මූලාශ්‍රය, B

ඡායාරූප ශීර්ෂ වැකිය, අලි ඇතුන් කරලන GPS කරපටය

GPS කරපටියක් දමා තිබුණ වන අලියකු මිය ගොස් සිටිය දී හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් බව පවසන වනජීවී නිලධාරීන් කියා සිටින්නේ එවැනි වන අලියකු සාමාන්‍යයෙන් වසර 65 ක පමණ කාලයක් ජීවත් වෙන බවයි.

ඉහත කී සූරියවැව ඇතින්නගේ ගෙල ප්‍රදේශයේ වූ තුවාලයට අමතරව සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොවූ බවත් වන නිලධාරීහු පවසති.

මරණ පරීක්ෂණයට අනුව ගෙල ප්‍රදේශයේ තුවාලය නිසා බැක්ටීරියා හෝ විෂ බීජ ලේවලට මිශ්‍ර වීම මගිනුයි ඇතින්නගේ මරණය සිදු වී තිබෙන්නේ.

කරපටි පැලඳවීම

වන ජීවී නිලධරයෙක් මිය ගිය ඇතින්න අසල

ඡායාරූප මූලාශ්‍රය, B

ඡායාරූප ශීර්ෂ වැකිය, වන ජීවී නිලධරයෙක් මිය ගිය ඇතින්න අසල

වන අලින්ගේ ගෙලේ GPS කරපටියක් පළඳවනු ලබන්නේ ඔවුන්ගේ හැසිරීම් රටාව හා සංචරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපරමින් සිටීම සඳහායි.

එමෙන්ම රක්ෂිත ප්‍රදේශ වලට මුදා හරින වන අලින්ටද එම කරපටිය දමනු ලැබේ.

සූරියවැව ඇතින්න මිය යාමේ සිද්ධිය මගින් පෙන්නුම් කෙරෙන්නේ එම කරපටි දැමුණ වන අලින් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් නිසි සොයා බැලීමක් සිදු නොකරන බවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඇතින්න, ඇය මිය ගිය ස්ථානයේ දවස් කීපයක් ම දඟලමින් සිට මිය යන්නට ඇති බවයි.

පශු වෛද්‍ය විජිත පෙරේරා
ඡායාරූප ශීර්ෂ වැකිය, පශු වෛද්‍ය විජිත පෙරේරා

දැවැන්ත ජීවියා දින කීපයක් දඟලමින් වේදනාවෙන් පසු වූ බවක් පෙනී යන සාක්ෂි දක්නට ඇත.

වසර තුනක කාලයක්

වන අලින්ට ජී.පී.එස්. කරපටි දැමීම ආරම්භ කෙරුණේ 1996 වර්ෂයේ දී උතුරු මැද පලාතෙනි.

මේ වන විට වන අලි ඇතුන් විස්සකට අධික ප්‍රමාණයකට ජී.පී.එස්. කරපටි දමා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම උඩවලව ඇත් අතුරු සෙවනින් නිදහස් කර ඇති අලි පැටවුන් පනහක් පමණ ජී.පී.එස්. කරපටි දමා මුදා හරිනු ලැබ ඇත .

සීමා නොතකා ගමනේ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, සීමා නොතකා ගමනේ

එලෙස මුදා හරින අලි පැටවුන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවයි, වන ජීවී වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ.

අලියකුට මෙවැනි ජී.පී.එස්. කරපටි දමනු ලබන්නේ වසර තුනකට පමණ කාලයක් සඳහා පමණි.

ඉදිරි පියවර

ඉන් පසු ඉබේම ගැලවී යා හැකි අයුරින් කරපටි සකසා තිබෙන බවයි වන ජීවී දෙපාර්තමේන්තුවේ වන අලි සංරක්ෂණ අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ටී.රත්නායක මහතා ප්‍රකාශ කළේ, සූරියවැව අලියාගේ මරණය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කරපටිය නිසා බෙල්ලේ ඇතිවූ තුවාලය හේතුවෙන් ඇති වූ ආසාදනයක් නිසා ඇතින්න මියගොස් ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, B

‘දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයට විශේෂයෙන්ම දැනුම් දී තිබෙනවා, අලින්ට කරපටි පැළදවීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග මීට වඩා සැලකිලිමත් ව සිදු කරන ලෙස. ඒ සම්බන්ධයෙන් මීට පෙරත් උපදෙස් දීලා තිබෙනවා. අදාළ කාල සීමාවන්හිදී කර පටි ගලවා ඉවත් කිරීම අදාළ පර්යේෂණ සිදු කරන කණ්ඩායම්වල වගකීමක්. නමුත් සූරියවැව අලියා සම්බන්ධයෙන් එම වගකීම ඉටු වෙලා නැහැ. එම නිසා කලට වේලාවට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඉදිරියේ කාලයේදී පියවර ගන්නවා’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් .ටී . රත්නායක පවසයි.