'නිමා වූ යුද්ධය' තවමත් නිමා නොවූ සොරිවිල

- Author, තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන
- Role, පොළොන්නරුවේ සිට
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී මේ වන විට වසර හතකට ආසන්නය.
තැන් තැන ඇසුණ පිපිරීම් හඬ නිමා විය.
වල දමා තිබුණ බෝම්බ ඉවත් කෙරිණ.
යථා තත්ත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවන රටාව සැනසිලි දායක විය.
බියෙන් ත්‍රස්තව සිටියෝ සැනසුම් සුසුම් හෙලූහ.
එහෙත්. තවමත් බෝම්බ බියෙන් මෙන්ම ජීවත් වීමේ අරගලයටද මුහුණ පා සිටින ජනතාවක් වෙසෙන ගම්මානයක් පොළොන්නරුවේ දිඹුළාගලින් දකින්න පිළිවන.
"මොන හේතුවකට අපිව අත්හැරලද කියන්න අපි දන්නෙ නෑ. මේ ගමට අඩු තරමෙ ග්‍රාම සේවක කෙනෙක්වත් නෑ. අපි නිරා දුකක් විඳින්නෙ," බීඑම් සිරිපාල මා සමඟින් කියා සිටියේ එවැන්නක්.
"අපේ දරුවන්ට යන්න තියෙන ඉස්කෝලෙ පහ වසරට වෙනකල් විතරයි තියෙන්නෙ. සාමාන්‍ය පෙළ වෙනකල් හරි කොහොම හරි ඉගෙන ගත්ත අයටවත් ඉස්පිරිතාලෙක කම්කරු රස්සාවක්වත් දෙන්නෙ නෑ."
ඔවුන් පවන පරිදි, කිසිම මහජන නියෝජිතයෙකු හෝ නිලධාරියකු මේ ගම්මානයට පැමිණ නොමැත.
'දිඹුලාගල හිමි'

වී ගොවිතැනත් කිරි ගොවිතැනත් ජීවනෝපාය කර ගත් මේ පිරිස අපවත් වූ දිඹුලාගල හිමියන් පිළිබඳව සිහිපත් කරන්නෙ අසීමිත භක්තියෙන්.
ඩීඑම් රන්ජිත් මට මුණ ගැහුනු තවත් ගම් වැසියෙක්.
"අපවත් වෙච්ච කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ තමයි අපිව මේ ගමේ පදිංචි කෙරෙව්වෙ. අපි එල්ටීටීයට උදව් කරන අය කියල අපිට සමහර අය කරදර කරා. අපිට ආමි එකෙනුයි එල්ටීටීඊ එකෙනුයි දෙපැත්තෙන්ම කරදර තිබ්බ."
"දිඹුලාගල හාමුදුරුවෝ කියල තිබ්බ උන්නාන්සේ අපවත් උනත් මේ ගමට බලන්න ඕන කියල ඒත් හාමුදුරුවෝ අපවත් උනාට පස්සෙ අපි කබලෙන් ලිපට වැටුණා."
මේ ගමට පිවිසෙන විටම අක්කරයකට වැඩි ප්‍රමාණයක් '' බිම් බෝම්බ වලලා ඇත'' යනුවෙන් සඳහන් පුවරුවක් දක්නට ඇත.
"මේ බිම් බෝම්බ අයින් කරල නෑ තාමත්. අපේ කිරි හරක් විස්සකට වැඩිය ඒ බෝම්බ වලට අහු වුනා.පොඩි ළමයි සෙල්ලම් කරන්න යනව. කල්පනාවෙන් හිටියෙ නැත්නම් ඉවරයි..මේ ගමේ යුද්ධයක් තිබුන ගමක් නෙවෙයි.ඒත් තාමත් අපි ඉන්නෙ බිම් බෝම්බ එක්ක."
බිම් බෝම්බ
කිසිදු රජයේ නිලධාරියෙක් මේ සොරිවිල ගම්මානයට නොපැමිණෙන බවයි ඔවුන් පවසන්නෙ.
රාජ්‍ය නොවන සංවිධාන වලින් කලකට පෙර ආධාර ලැබුනද දැන් එවැනි ආධාරයක්ද නොලෙබන බවයි ඔවුන් කියා සිටියේ.
ඉපැරණි ගම්මානයක් බව හෙළි කෙරෙන පැරණි කොවිල් සහ පාසලක්ද සොරිවිල ගම තුළ දකින්නට පුළුවන්.

සිංහල සහ දෙමළ මිශ්‍ර ව වෙසෙන මේ ගමේ ත්‍යාගරාජා මෝහන් ද කිරි ගොවියෙක්.
"අපේ ගම සිතියමෙනුත් මකලද කියල අපිට හිතෙනව. හරියට පාරක් නෑ. හාමුදුරුවෝ හින්ද ලයිට් ටික ගත්ත. අපිට බොන්න හොඳ වතුර ටිකක් නෑ. වගා කරන්න වතුර නෑ. වැස්සොත් ගං වතුර. යුද්ධය ඉවරයි කියල අපිට වෙනසක් නෑ. අපි කියන දෙයක් ගණන් ගන්න කිසිම කෙනෙක් නෑ," ත්‍යාගරාජා පැවසීය.
'ජනපති පොළොන්නරුවේ'
"අපි මේ සැරේ කිසි කෙනෙකුට ඡන්දේ නොදෙන්නයි හිටියෙ. ඒත් පොළොන්නරුවේ ජනාධිපති කෙනෙක් ඉන්න කොට අපි ගැන බලයි කියන විශ්වාසෙන් මේ පාරත් දුන්න. අපි මහ ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ. අඩු ගානෙ ඉස්පිරිතාලයක හරි කොතැනක හරි කම්කරු රස්සාවක් හරි අපිටත් දෙන්න. මේ බිම් බෝම්බ අයින් කරල අපේ ළමයින්ට ආරක්ෂාවක් හදල දෙන්න."
පාර්වතී දේවිගේ සැමියා සිංහල ජාතිකයෙක්.
"මේ ගමට එන කාටවත් යුද්ධය ඉවරයි කියලනම් හිතෙන්නෙ නෑ. දරුවෙකුට බෙහෙතක් ගන්න ඕනනම් හැතැප්ම ගාණක් පයින් ගිහින් බස් එකක නැගිල මනම්පිටියට හරි අරළගංවිලට හරි යන්න ඕන.ජීවත් වෙන්න අපි නොවිඳිනා දුකක් නෑ. බෝම්බ වලට අහු වෙලා එළුවො හරක් මැරෙනව. අපි ගෙවන්නෙ කරුම ජීවිතයක්. දරුණුවට යුද්ධය තිබ්බ උතුරෙ මිනිස්සුත් දැන් හොඳට ඉන්නව. යුද්ධයක් තිබ්බෙ නැති සොරිවිල අපි තාම බෝම්බ එක්ක."
1864 දක්වා දිවෙන ඉපැරණි ඉතිහාසයක් ඇති මේ සොරිවිල ගම්මානයේ ඇතැම් පැරණි නටබුන් තවමත් දකින්නට තිබේ.








