යුද්ධය නිමා කිරීම ගැන දුක්වෙනවා - ගෝඨාභය

දශක ගණනාවක් පැවති යුද්ධය නිමා කිරීම පිළිබඳව දැන් තමන්ට කණගාටුවක් දැනෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ බව සඳහන් කළේ බරපතල වංචා සහ දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්.

"මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ," හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

"ඒක ඉවර කරපු හන්දනේ මේ ඔක්කොම කරදර? දැන් තව ඉදිරියට තව කරදර එනවනේ?"

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමසා බැලීම පිණිස මිශ්‍ර අධිකරණ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කරයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමසා බැලීම පිණිස මිශ්‍ර අධිකරණ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය බදාදා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව තමන්ට එම කොමිසම ඉදිරියේද පෙනී සිටීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

'හයිබ්‍රිඩ් ක්‍රමේ'

"ඒ කොමිසමෙන් ඉදිරිපත් කරලා තියෙනවනේ දැන් මේ හයිබ්‍රිඩ් ක්‍රමේ?. දැන් ඒකටත්, අපි මේ යුද්ධෙ ඉවර කළේ ඇයි කියල දැන් සාක්කි දෙන්න ඕන," ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

එහෙත් තමන්ට තවමත් එවැනි කැඳවීමක් ලැබී නැති බව ඔහු පිළිගත්තේය.

නිල සටහන් තබමින් බරපතල යුද්ධයකදී ගත යුතු ක්ෂණික තීරණ ගත්තේ නම් 'යුද්ධය තාමත් යන' බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

"තාම එහෙනම් මේවට එන්න වෙන්නේ නෑ අපිට. මොනවා වුනත්, කවුරු වුනත් පිළිගන්න ඕන නේ අවුරුදු 30 ක් තිබුන යුද්ධය මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉඳපු කාලේ නේ අවසන් කළේ."

'මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ'

විවිධ 'හමුදාපතිවරුන්' සහ 'නිලධාරීන්' බොහෝ දේ සඳහන් කළත්, ඔවුන්ගේ පාලන කාලවල යුද්ධය අවසාන කිරීමට නොහැකි වූයේය යන්න යතාර්ථය බවත් ඔහු පැවසීය.

"මගේ මේ මිනිට් එකක් (නිල සටහන්) තියනවද, එහෙම නැත්නම් ලිපියක් ලියවිලා තියනවද. මේවා තමයි මේ තාක් කල් මම අහගෙන හිටියේ. දූෂණයක් වෙච්ච එකක් ගැන කතාවක් නෑ."

පසුගිය ජනපතිවරණයට රාජ්‍ය නිලධාරීන් යොදා ගත් බවට මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප නොකරන හැඩකුයි දක්නට ලැබුණේ.

"රජයේ සේවකයෝ කවදාකවත්, කිසිම ආණ්ඩුවක් පාවිච්චි කරලා නෑනේ ඡන්ද වැඩවලට," යන්නයි ඒ පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය වූයේ.