මහින්ද වගකිවයුතු නම් 'පියවර ගන්නවා' - ආණ්ඩුව

යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න පවසයි.

හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි බීබීසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

හිටපු ජනාධිපතිවරයා,අණදෙන නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කවරකු හෝ වරදක් කර තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පියවර ගන්නා බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, British Tamil Forum

'මගේ දැක්ම අනුව යුද්ධය අපරාධයක්. ඒ අනුව යුද අපරාධ සඳහා යම්කිසිවකු නියෝග කර තිබේනම් ඔවුන්ගෙන් විමසිය යුතු අතර අපේ ආණ්ඩුව එවැනි ක්‍රියාවන් වී ඇත්නම් ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නවා' ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා විසින් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රතිචාරය පළ වෙමින් පවතින අතර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කොමිසමේ නිර්දේශ අනුව යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥාවක් දෙන ලද බව වාර්තා වෙයි.

එහෙත් විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් කෙරුණ නිර්දේශය සම්බන්ධයෙන් සහයෝගය දීමක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුණේ නැත.

අමාත්‍ය මංගල සමරවීර
ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය මංගල සමරවීර

සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී කියා සිටියේ,ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමින් දේශීය යාන්ත්‍රණයක් අනුව අදාළ විභාගය සිදු කිරීම වන බවයි කියා සිටියේ.

'රටක් හැටියට අපි ජාත්‍යන්තර විභාගයක් සඳහා එකඟ වීමට සූදානම් නැහැ.ඒත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත දේශීය විභාගයකට අපි සූදානම්' සෞඛ්‍යය ඇමතිවරයා බීබීසියට කියා සිටියේය.

ජාත්‍යන්තර විශේෂඥයන්

ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකදී විදේශීය විශේෂඥයන්ට සහභාගී වීමට ඇති ඉඩකඩ සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප නොකරයි.

'පසුගිය ආණ්ඩුවත් ජාත්‍යන්තර නියෝජිතයන් සහභාගී කර ගත්තා.ඒ නිසා එය ප්‍රශ්නයක් නොවෙයි' ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම අදියරේ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, No Fire Zone

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම අදියරේ අවස්ථාවක්