කොකා-කෝලාවෙන් ඔබ්බට ...

කොකා-කෝලා සමාගමටත් පරිසර ආරක්ෂණ බලපත් දී තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව 'අත්වැරදීමක්' බවයි සමාගම කියන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, කොකා-කෝලා සමාගමටත් පරිසර ආරක්ෂණ බලපත් දී තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව 'අත්වැරදීමක්' බවයි සමාගම කියන්නේ
    • Author, නාලක ගුණවර්ධන
    • Role, විද්‍යා ලේඛක

කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අප ද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම පසුගියදා මහත් ආන්දෝලනයක් මුල් විය.

මහමැතිවරණය පැවති අගෝස්තු 17 වැනිදා කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශ වල ජල නලයේ අසාමාන්‍ය දුර්ගන්ධයක් ගැන ලැබුණු පැමිණිලි අනුව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය කඩිනමින් විපරම් කළ අතර පැය කිහිපයකට ජල සැපයුම නතර කොට දූෂණයේ මූලාශ්‍රය සොයා ගැනීමට හැකි විය.

අගෝස්තු 28 වැනිදා දෙවන වරටත් එම කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය කාන්දුවක් සිදු වූයෙන් කොළඹ හා අවට ජල සැපයුම තාවකාලිකව නතර කිරීමට සිදු විය.

මාධ්‍ය වාර්තා මුලදී කීවේ මෙයට හේතුව කොකා-කෝලා කම්හලෙන් නිකුත් වූ ඩීසල් තෙල් කාන්දුවක් බවයි. එහෙත් සැප්තැම්බර් 5 වැනි දින මණ්ඩලයේ සභාපතිවරයා කියා තිබෙන්නේ එය කාබනික රසායනික ද්‍රවයක් විය හැකි බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවන ලද ජල සාම්පල අනුව ජලයේ මෙතිලින් සාන්ද්‍රණය ඉහළ ගිය බවක් පෙන්නුම් කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

භූගත ජලය අපවිත්‍ර වීම නිසා උතුරේ 18,000කට වැඩි පිරිසක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය, භූගත ජලය අපවිත්‍ර වීම නිසා උතුරේ 18,000කට වැඩි පිරිසක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිති

එහෙත් ඊට මුල් වූ නිශ්චිත හේතු කාරකය කුමක්දැයි තවමත් නීර්ණය කොට නොමැත.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ අඹතලේ ජලාශයෙන් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කළ විට එහි ඛනිජ තෙල් මුසු වීමක් හමු වූ බවයි.

සැකයක්

ජලාප්‍රවාහන මණ්ඩලය හා පරිසර අධිකාරිය ඇතැම් විට පරස්පර වූ විරෝධී ප්‍රකාශ කිරීමත්, තමන් සොයා ගත් සියලු තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමත් ජනතා සැකයට හේතු වී තිබේ.

කි.මී. 145ක් දිග කැලණි ගඟට අයිති ගංගා නිම්නය වර්ග කි.මී. 2,292ක් වන අතර පිරිපහදු කළ හා නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත හා නගරාශ්‍රිත බැහැර කිරීම් විශාල ප්‍රමාණයක් කැලණි ගඟට එකතු කෙරෙයි.

කැලණි ගංගා පතුළ මුහුදු මට්ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලයද විටින් විට ගඟ තුළට පැමිණ යම් තාක් දුරට උඩුගං බලා විහිදෙයි. (salt water intrusion).

එයට එක් හේතුවක් නම් ගං පතුළින් අධික ලෙස වැලි ගොඩ දැමීමයි.

රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව සහ ප්‍රදේශවාසීන් අතර හට ගත් මතභේදයක් කෙළවර වූයේ හමුදා බලය යොදවා නිර්දය ලෙස ප්‍රදේශවාසීන් මර්දනය කිරීමෙනි
ඡායාරූප ශීර්ෂ වැකිය, රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව සහ ප්‍රදේශවාසීන් අතර හට ගත් මතභේදයක් කෙළවර වූයේ හමුදා බලය යොදවා නිර්දය ලෙස ප්‍රදේශවාසීන් මර්දනය කිරීමෙනි

පසුගිය දශක කිහිපය පුරා කර්මාන්තශාලා පිහිටුවන විට පුළුල් සැලැස්මක් යටතේ ඒවා ස්ථානගත කිරීමක් ද සිදු නොවුණි.

දියර අපද්‍රව්‍ය යම් පවිත්‍ර කිරීමකට (effluent treatment) ලක් කළ හැකි තාක්ෂණය හැම කර්මාන්ත ශාලාවකටම එක බැගින් ඉදි කිරීම වියදම් අධික කාර්යයකි. ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි එය සීමිත වශයෙන් සිදු කෙරෙයි.

එහෙත් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා රැසකට එම පහසුකම නොමැත.

ඔවුන් සිදු කරන්නේ හීන් සීරුවේ අවට ඇති කාණුවකට හෝ දිය පාරකට අපද්‍රව්‍ය පිට කිරීමයි.

ඉන්ධන පිරවුම්හල්, මෝටර් කාර්මික ගරාජ, ලියවන පට්ටල්, වාත්තු කම්හල් ආදී ස්ථානවලින් ඉවත ලන තෙල් හා අනෙකුත් රසායන ද්‍රව්‍ය ද කාණු ඔස්සේ ගලා ගොස් අවට ජලධාරාවන්ට එකතු වෙයි.

'අත්වැරදීමක්'

මධ්‍යම පරිසර අධිකාරිය 1990 පමණ පටන් කර්මාන්තවලට පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License, EPL) නිකුත් කරයි. ඒ වායු, ද්‍රව හා ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නට නිසි පියවර ගන්නා බවට තහවුරු වූ පසුවයි.

කොකා-කෝලා සමාගමටත් පරිසර ආරක්ෂණ බලපත් දී තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව 'අත්වැරදීමක්' බවයි සමාගම කියන්නේ.

අගෝස්තු 20 වනදා ක්‍රියාකාරිත්වය නතර කළ කොකා-කෝලා කම්හල යළි සැප්තැම්බර් 1 වනදා වැඩ ඇරඹුවේ පරිසර අධිකාරියෙන් කොන්දේසි සහගත අනුමැතියක් ලබා ගෙන බව සමාගම පවසයි.

ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් දෙකකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් දෙකකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති

උද්ගත වී පවතින තත්වය හුදු කොකා-කෝලා විරෝධයකට හා බහුජාතික සමාගම් හෙළා දැකීමකට එහා යන පුළුල් ජන ආවේගයකට මේ සිදුවීම අප පෙරළා ගත යුතුව ඇත.

කොකා-කෝලා සිද්ධිය තේමා කරගෙන 2015 සැප්තැම්බර් 5 වැනිදා රාවයට ලිපියක් ලියූ තරිඳු උඩුවරගෙදර කීවේ කොකා-කෝලා සමාගමට එල්ල වන ජන විරෝධයෙන් ඔබ්බට ගොස් සමස්ත කැලණි ගඟෙහි දූෂණය හා එයට දායක වන ලොකු කුඩා ප්‍රභවයන් ගැනත් දැනුවත් හා සංවේදී විය යුතු බවයි.

මෙයට සමාන්තර අදහසක් ජල සම්පත් පර්යේෂිකාවක් හා ක්‍රියාකාරිනියක් වන කුසුම් අතුකෝරල මතු කරන්නීය.

"ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය , වැසිකිළි අපද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත අපද්‍රව්‍ය බොහොමයක් ද කිසිදු පවිත්‍ර කිරීමකින් තොරව අසල ඇති ජල ධාරාවකට හෝ ජලාශයකට මුදා හැරීම කලෙක පටන් රටේ බොහෝ ප්‍රදේශවල කෙරෙනවා. මේ ගැන අපි ටික දෙනෙක් හඬ නැගුවත් බොහෝ දෙනකුට එය ප්‍රමුඛතාවක් නොවෙයි," කුසුම් අතුකෝරල පෙන්වා දෙන්නීය.

'කොකා-කෝලාවට වඩා දුරදිග යන ප්‍රශ්නයක් මෙහි ඇති බව මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශ කළ විට එය එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කිරීමක් හැටියට සමහරු චෝදනා කළහ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'කොකා-කෝලාවට වඩා දුරදිග යන ප්‍රශ්නයක් මෙහි ඇති බව මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශ කළ විට එය එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කිරීමක් හැටියට සමහරු චෝදනා කළහ'

ශ්‍රී ලංකාවේ නල ජලය නොලබන බහුතරයක් නිවාස පානීය හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා වැසි ජලය, මතුපිට ජලය (වැව්, ඇල දොල, ගංගා) හෝ භූගත ජලය මතයි යැපෙන්නේ. වැසි ජලය රැස් කිරීමේදී හැර අන් හැම ප්‍රභවයකින්ම යම් ජල දූෂක මිශ්‍ර විය හැකිය.

උදාහරණයක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වීම නිසා 18,000කට වැඩි වැසියන් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටීම දැක්විය හැක.

එම ජල දූෂණයට චෝදනා ලැබ සිටින්නේ MTD වෝකර්ස් නම් සමාගමට අයත් එහි පිහිටි 30MW ධාරිතාවෙන් යුතු තාප විදුලි බලාගාරයයි.

රතුපස්වල

2009දී ඇරඹූ එම බලාගාරයෙන් මුදා හරින අපද්‍රව්‍ය තම ළිං ජලය හා භූගත ජල සම්පත දූෂණය කරන බවට එහි වැසියන් නගන චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි.

චෝදනා ලබන එබඳු සමාගම්වල ස්ථාවරය ඔවුන් රටේ නීතියට හා ප්‍රමිතීන්ට අනුකූල වන බවයි. බොහෝ සමාගම් ඉන් ඔබ්බට යමින් සමාජයීය වගකීමක් භාර නොගනිති.

2013 අගෝස්තුවේ වැලිවේරියේ රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව හා ප්‍රදේශවාසීන් අතර හට ගත් මතභේදයක් කෙළවර වූයේ පසුගිය රජය හමුදා බලය යොදවා නිර්දය ලෙස ප්‍රදේශවාසීන් මර්දනය කිරීමෙනි.

තමන් නොමග යැවූ බවට රතුපස්වලවාසීන් ගෙන් යහපාලන ආණ්ඩුවටත් චෝදනා
ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් නොමග යැවූ බවට රතුපස්වලවාසීන් ගෙන් යහපාලන ආණ්ඩුවටත් චෝදනා

කර්මාන්තවලට දිරි දීම රටේ නිල ප්‍රතිපත්තිය නිසා වඩාත් සමාජයීය වගකීම් සහගත පිළිවෙතකට ඔවුන් යොමු කර ගත යුතු අතර එසේ නැතිව කර්මාන්ත වැසුවොත් රැකියා අහිමි වන්නේ අපේම ජනතාවට බව තරුණ බ්ලොග් ලේඛක සෙනෙල් වන්නිආරච්චි කොකා-කෝලා ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ පෙන්වා දුන්නේය.

චුන්නාකම් ජල දූෂණය උතුරේ ජනයාට පමණක් ප්‍රශ්නයක් වෙද්දී කැලණි දූෂණය දකුණේ බොහෝ අයට ආවේගයක් ගෙන දුන් අතර කොකා-කෝලාවට වඩා දුරදිග යන ප්‍රශ්නයක් මෙහි ඇති බව මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශ කළ විට එය එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කිරීමක් හැටියට සමහරු චෝදනා කළහ.

සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් සමාව අයැද, සිදු වූ සම්පූර්ණ හානියට වන්දි ගෙවා දඩයක් ද ගෙවිය යුතුය යන්න මගේ අදහසයි. කොකා-කෝලා පානය පෞද්ගලික තෝරා ගැනීමක් වන අතර දැනමටත් සංකීර්ණ මට්ටමක පවතින ප්‍රශ්නයක් තවත් ව්‍යාකුල නොකළ යුතුව ඇත.