දොරපේ ඩීඑස්අයි කම්හල් ගැන පරිසර වාර්තා 'ප්‍රමාදයි'

ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ කර්මාන්ත ශාලාවකින් පිටවන විෂ වායුව සහ දුගඳ සම්බන්ධයෙන් අදාළ තත්ව පරීක්ෂණ වාර්තා පමා වීම හේතුවෙන් කම්හල සම්බන්ධ අවසාන තීරණයකට එළැඹීම කල් දැමීමට සිදු වූ බව බලධාරීහු පවසති.

A meeting in Dorape school
ඡායාරූප ශීර්ෂ වැකිය, විෂ වායුව හේතුවෙන් පාසල් දරුවන් ආබාධවලට ගොදුරු වන බව ප්‍රදේශවාසීහු පවසති

රබර් කම්හලෙන් නිකුත් වන විෂ වායුව පාලනය කිරීමට කම්හල් බලධාරීන් පියවර ගෙන තිබූ නමුත්, තවමත් දුගඳ පාලනය කොට නැති බව බීබීසී සංදේශයට කියා සිටි ඉමදුව ප්‍රාදේශීය සභා සභාපති ඒවී සරත් කුමාර, දොරපේ මහා විද්‍යාලයේ අද සවස පැවැත්වුණු රැස්වීමකදී ඒ පිලිබඳව අවසාන තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණු බවද සඳහන් කළේය.

කෙසේ නමුත් මධ්‍යම පරිසර අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය අදාළ වාර්තා ලබා දීමට අපොහොසත්වීම හේතුවෙන් අවසාන තීන්දුවක් ගැනීම දින නියමයකින් තොරව කල් දමන ලද බවයි, රැස්වීමට සහභාගි වූ දොරපේ පරිසර කමිටුවේ කේ නෝබට් සංදේශයට කියා සිටියේ.

එම චෝදනාව පිළිගත නොහැකි බව සංදේශය සමඟ කියා සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරියට අදාළ වාර්තා තවමත් භාර දී නැති රැස්වීමේ දී හෙළි වූ බවද සඳහන් කළේය.

සැප්තැම්බර් 30 වැනිදා වන විට විෂ දුමාරය සහ ගඳ පාලනය කිරීමට පියවර නොගත හොත් දොරපේ කම්හල වසා දැමීමට කටයුතු කරන බවට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මෙන්ම සභාපතිවරයාද අනතුරු අඟවා තිබුණි.

එය පිළිගන්නා සරත් කුමාර සභාපතිවරයා, හදිසි තීරණ නොගෙන කම්හලට තවත් සති කිහිපයක් කාලයක් ලබා දී සියලු වාර්තා ලබා ගැනීමෙන් අනන්තුරුව ඉදිරි පියවර ගැනීම වඩාත් සුදුසු පියවර බවද සඳහන් කළේය.