මැතිවරණයේ අනපේක්ෂිත ජය පැරදුම්

ආසන 106 දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ජයග්‍රාහකයා වී සිටියි. කිසිදු පක්ෂයකට බහුතර බලය දිනා ගැනීමට හැකි වී නැත. කෙසේ වෙතත් මහා මැතිවරණය අනපේක්ෂිත සිදුවීම් සමුදායක් මුදා හළ අවස්ථාවක් බව මෙවර ප්‍රතිපලයෙන් පැහැදිලි වන කරුණකි.

එක්සත් ජාතික පක්ෂය

සමස්ත ඡන්ද පදනම 29.34% සිට 42.38% දක්වා සියයට දහතුනකින් පමණ වර්ධනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් ව සිටියි
ඡායාරූප ශීර්ෂ වැකිය, සමස්ත ඡන්ද පදනම 29.34% සිට 42.38% දක්වා සියයට දහතුනකින් පමණ වර්ධනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් ව සිටියි

එක්සත් ජාතික පක්ෂය ආසන 106 ක් ලබා ගනිමින් මැතිවරණයේ ප්‍රධාන ජයග්‍රාහකයා වී සිටියි. පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන ජය ගත් සිංහල බහුතරය වෙසෙන දිස්ත්‍රික්ක සියල්ල යළි දිනා ගැනීමට සමත් වී සිටින එක්සත් ජාතික පක්ෂය ඊට අමතරව එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජය ගත් කෑගල්ල හා මාතලේ දිස්ත්‍රික්ක වල බලය ද හිමි කර ගෙන ඇත.

දශක දෙකක් තිස්සේ පිට පිට මැතිවරණ ගණනාවක් පරාජය වූ එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද පදනම වර්ධනය කර ගනිමින් ජයග්‍රහණයේ භුක්ති විඳීමට සමත් වී ඇත. 2010 මහා මැතිවරණයට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂය විශාල සාර්ථකත්වයක් අත් කර ගෙන ඇති අතර එය තම සමස්ත ඡන්ද පදනම 29.34% සිට 42.38% දක්වා සියයට දහතුනකින් පමණ වර්ධනය කර ගැනීමට ද සමත් ව සිටියි. පසුගිය මැතිවරණයෙන් ආසන 60 ක් පමණක් දිනා ගත් එය මෙවර ආසන 106 ලබා ගෙන ඉදිරියෙන් සිටියි.

නාගරික ඡන්ද කොට්ඨාශ වල දී එක්සත් ජාතික පක්ෂය විශාල සාර්ථකත්වයක් ලබා සිටින බව එය මහනුවර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ලද ජයග්‍රහණ වලින් පැහැදිලි වේ. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5000 කින් පමණ දිනු ගම්පහ දිස්ත්‍රික්කය මෙම මැතිවරණයේ දී වැඩි ඡන්ද තිස් දහසකින් පමණ දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් ව සිටියි.

දෙමළ ජාතික සන්ධානය

දෙමළ ජාතික සන්ධානය මෙවර ආසන 16 දිනා ගෙන තම පාර්ලිමේන්තු නියෝජනය ද ඉහළ නන්වාගෙන ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමළ ජාතික සන්ධානය මෙවර ආසන 16 දිනා ගෙන තම පාර්ලිමේන්තු නියෝජනය ද ඉහළ නන්වාගෙන ඇත

මෙවර මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් අත් කර ගනිමින් උතුරු පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට දෙමළ ජාතික සන්ධානය ද හැකියාව ලැබී ඇත.

තම ඡන්ද පදනම දෙගුණයක් කර ගැනීමට එම සන්ධානය සමත් වී ඇත. 2010 මැතිවරණයේ දී ආසන 14 ක් දිනා ගත් එම සන්ධානය මෙවර ආසන 16 දිනා ගෙන තම පාර්ලිමේන්තු නියෝජනය ද ඉහළ නංවාගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ

පසුගිය ජනවාරි මස ලබා ගත් ඡන්ද ප්‍රමාණය යළි ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අසමත් වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ජනවාරි මස ලබා ගත් ඡන්ද ප්‍රමාණය යළි ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අසමත් වී ඇත.

2015 මහා මැතිවරණයේ වඩාත් කතා බහට ලක් වූ සහ මතභේදාත්මක චරිතය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සුභවාදී ප්‍රතිඵලයක් ගෙන දී නැත. කුරුණෑගල දිස්ත්‍රික්කය ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුවත් පසුගිය ජනවාරි මස ලබා ගත් ඡන්ද ප්‍රමාණය යළි ලබා ගැනීමට එය අසමත් වී ඇත.

ජනාධිපතිවරණයේ දී කුරුණෑගල දිස්තික්කයෙන් 53.46% ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූ මහින්ද රාජපක්ෂ ගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර ලබා ගත හැකි වී ඇත්තේ 43.26% ඡන්ද ප්‍රතිශතයක් පමණි. පන්ලක්ෂ පනස් දහසකට අධික ඡන්ද ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර හිමි ව ඇත්තේ හාර ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ඡන්ද ප්‍රමාණයකි.

කෙසේ වෙතත් මනාප ඡන්ද 423529 ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වීමට මහින්ද රාජපක්ෂ සමත් වී සිටින අතර එය එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවෙන් 89% කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

රට පුරාම මැතිවරණ ප්‍රතිඵල දෙස බැලු කල පසුගිය ජනාධිපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය දිනා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අපොහොසත් වී තිබීම කැපී පෙනේ. පසුගිය මහා මැතිවරණයේදී ආසන 144 ක් දිනා ගැනීමට සමත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි ව ඇත්තේ ආසන 95 පමණි.

හිටපු මැති ඇමතිවරුන් ගණනාවකට තම මන්ත්‍රීධුර අහිමි වී තිබෙන අතර ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක් සිටින බවයි වාර්තා වන්නේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ජවිපෙ සමග තරග කර ආසන හතක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කිසිම ආසනයක් මෙවර හිමි වී නැත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජවිපෙ සමග තරග කර ආසන හතක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කිසිම ආසනයක් මෙවර හිමි වී නැත.

මෙවර මැතිවරණයේ පසුබෑමට ලක් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනේ. එම පක්ෂය 2010 මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග තරග කර ආසන හතක් ජය ගැනීමට සමත් විය.

නමුත් මෙවර මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට එයට නොහැකි වීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. එම පක්ෂයට මුළු ලංකාවෙන් ම ලබා ගත හැකි වී ඇත්තේ ඡන්ද තිස් දහසකට ආසන්න සංඛ්‍යාවකි. ජවිපෙ සමග තරග කර ආසන හතක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කිසිම ආසනයක් දිනා ගැනීමට පමණක් නොව තම ඡන්ද පදනම සෝදාපාළුවට ලක් වීම වළක්වා ගැනීමට වත් හැකියාවක් ලැබී නැති බව ද මේ ප්‍රතිපලයෙන් පැහැදිලි වේ.

ජනතා විමුක්ති පෙරමුණ

බලාපොරොත්තු වූ අන්දමේ ජයග්‍රහණයක් අත් කර ගැනීමට ජවිපෙ හැකියාව ලැබී නැත.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය, බලාපොරොත්තු වූ අන්දමේ ජයග්‍රහණයක් අත් කර ගැනීමට ජවිපෙ හැකියාව ලැබී නැත.

මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්ද පදනම සහ පාර්ලිමේන්තු නියෝජනය ඉහළ දමා ගනු ඇති බවට විශ්වාසයක් පැවතුණත් මැතිවරණ ප්‍රතිඵල පවසන්නේ වෙනත් කතාවකි. බලාපොරොත්තු වූ අන්දමේ ජයග්‍රහණයක් අත් කර ගැනීමට ජවිපෙ හැකියාව ලැබී නැති අතර බොහෝ සමීක්ෂණ වාර්තා බොරු කරමින් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක වලින් එකම ආසනයක් වත් හිමි කර ගැනීමට ජවිපෙ සමත් ව නැත.

කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ආසනය බැගින් දිනා ගැනීමට ජවිපෙ සමත් වී ඇති අතර පක්ෂයේ සාම්ප්‍රදායික බලකොටුවක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසනයක් දිනා ගැනීමට සමත් වීම ජවිපෙට සතුටු විය හැකි එකම කරුණ බවට පත් ව තිබේ. ඒ අනුව ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයෙන් වෙන්ව තනිව තරග කල ජවිපෙට ආසන හයක් දිනා ගැනීමට හැකි වී ඇත.

ජවිපෙ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත් වූ නිහාල් ගලප්පත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් යළි පාර්ලිමේන්තු වරම් ලබා ගෙන තිබේ.

දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කල මෙවර මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ සුනිල් හඳුන්නෙත්ති මෙවර පරාජයට පත් වීම ජවිපෙ ලද විශාල පසුබෑමකි.

ඩග්ලස් දේවානන්ද

ළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර දිනා ගැනීමට හැකි වී ඇත්තේ එක අසුනක් පමණි

ඡායාරූප මූලාශ්‍රය, epdpnews

ඡායාරූප ශීර්ෂ වැකිය, ළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර දිනා ගැනීමට හැකි වී ඇත්තේ එක අසුනක් පමණි

පසුගිය මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරග කර ආසන තුනක් දිනා ගත් ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර දිනා ගැනීමට හැකි වී ඇත්තේ එක අසුනක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු අසුනක් හිමි වී නැත.

කම්කරු කොන්ග්‍රසය

කම්කරු කොංග්‍රසයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබූ බලය ගිලිහී ගොස් ඇති බව මෙවර මහා මැතිවරණයෙන් පැහැදිලි වන කරුණකි
ඡායාරූප ශීර්ෂ වැකිය, කම්කරු කොංග්‍රසයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබූ බලය ගිලිහී ගොස් ඇති බව මෙවර මහා මැතිවරණයෙන් පැහැදිලි වන කරුණකි

කලක් ශ්‍රී ලංකාවේ රජුන් තනන පක්ෂය බවට පත් ව තිබූ කම්කරු කොංග්‍රසයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබූ බලය ගිලිහී ගොස් ඇති බව මෙවර මහා මැතිවරණයෙන් පැහැදිලි වන කරුණකි. කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමාන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරග කලත් දිස්ත්‍රික්කය අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ.