මෛත්‍රී ශ්‍රීලනිපයෙන් හෝ වෙනත් පෙරමුණකින්?

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wilckramasinghe
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවාදීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කරගෙන සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කරන මෙන් හෝ වෙනත් සන්ධානයකට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට සිය ආධාරකරුවන් ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමේ තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ පුරවැසි පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
දුරකථනයෙන් ජනාධිපතිවරයා ඇමතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්, ජනපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කළ බවත් බීබීසී සංදේශයට වාර්තා වේ.
තීරණාත්මක සාකච්ඡාවක්
ජනාධිපතිවරයාගේ සමීපම හිතවතුන් වන රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, අර්ජුන රණතුංග, එම්කේඩීඑස් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් තත්වය පිළිබඳව ඉරිදා රාත්‍රියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
හිටපු ජනපතිනිය ඇතුළු පිරිස සඳුදා සවස් වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී තීරණාත්මක සාකච්ඡාවක නිරතවීමට නියමිත බව එක් අමාත්‍යවරයෙක් සංදේශයට පැවසීය.

හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදෙන බව සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා නිවේදනය කළ අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ඒ පිළිබඳව තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට නැත.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අනුමැතිය සහිතව එම නිවේදනය නිකුත් කරන ලද බවයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.
'සාදයට නෑ'
සිකුරාදා රාත්‍රියේ පැවැත්වුණු හිටපු ජනාධිපතිනියගේ උපන්දින සාදයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වීමට නියමිතව සිටි ජනාධිපතිවරයා, එයට සහභාගි නොවී <link type="page"><caption> කලින්ම නින්දට ගොස් සිටි බවත්</caption><url href="http://www.sundaytimes.lk/150705/columns/ms-avoids-chandrika-pm-after-political-shock-155452.html" platform="highweb"/></link> පුවත්පත පවසයි.
මේ අතර අර්ජුන රණතුංග, නන්දිමිත්‍ර ඒකනායක සහ එම්කේඩීඑස් ගුණවර්ධන අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සැරසෙන බවයි, <link type="page"><caption> ඩේලි මිරර් පත්‍රය</caption><url href="http://www.dailymirror.lk/78439/three-slfp-ministers-to-contest-from-unp" platform="highweb"/></link> වාර්තා කරන්නේ.
අදාළ වාර්තාව පිළිබඳව විමසීම පිණිස එම අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කෙසේ නමුත් එජාපය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව රණතුංග අමාත්‍යවරයා ඉරිදා සංදේශයට පැවසීය.

කෙසේ නමුත් අධිවේගී මාර්ගයේ මීළඟ අදියර විවෘත කිරීම සඳහා ඉන් පසු දින මාතර පැවැත්වුණු උත්සවයකට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනවාරි 08 වැනි දින රටේ ජනතාව නිහඬ විප්ලවයක් කරමින් ලබා ගත් ජයග්‍රහණය සහ ඔවුන් තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට ඉඩ නොතබන බව ප්‍රකාශකොට තිබුණි.
එමෙන්ම හිටපු ජනපතිනියගේ උපන්දිනය සැමරීම් වස් ඉරිදා සවස් යාමයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට සහභාගි වූ ජනපතිවරයා, බණ්ඩාරනායක පරපුරේ දේශපාලනය අගය කරමින් අදහස් දැක්වීය.
අගමැති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, අර්ජුන රණතුංග ඇතුළු අමාත්‍යවරුද එම උත්සවයට සහභාගි වී සිටියහ.
ආධාරකරුවන්ගේ විරෝධය
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදෙන බව නිවේදනය කළ අවස්ථාවේ එයට විරෝධය දක්වමින් ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයසේකර පදවියෙන් ඉල්ලා අස් වූ අතර, දේශපාලනයෙන් සමුගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය නිවේදනය කළේය.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරුන් දැඩි ස්ථාවරයක සිටීම ජනාධිපතිවරයා මුහුණ දී සිටින ප්‍රබල අභියෝගයක්.
මේ තත්වය යටතේ පක්ෂයේ තමන්ට සහාය දෙන පිරිසට ශ්‍රීලනිපයෙන් හෝ වෙනත් සන්ධානයකින් නාමයෝජනා ලබාදීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අවධානය යොමු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට අනාවරණය වේ.
සිකුරාදා නිවේදනයෙන් අනතුරුව ජයග්‍රාහී විලාශයෙන් නාරාහේන්පිට අභයාරාමයේ දී මාධ්‍යවේදීන් ඇමතූ මහින්ද පාර්ශවය සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවක් හදිසියේම කල් දමා තිබේ.
දෙපාර්ශවයෙන්ම මේ මොහොතේ පලවෙමින් තිබෙන්නේ අද්භූත නිහඬ බවක්.








