ජනවාරි 8 විප්ලවය ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, courtesy presidents media
පසුගිය ජනවාරි 8 වන දින රටේ ජනතාව නිහඬ විප්ලවයක් කරමින් ලබා ගත් ජයග්‍රහණය, වෙනස පරිවර්තනය සහ ඔවුන් තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම - හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ, මාතර නිල්වලා පිවිසුම අභියසදී පැවති උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා එසේ පැවසුවේ.
“මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු සහ පරමාර්ථයන් කිසිසේත්ම ආපසු හරවන්න කිසිකෙනෙකුට ඉඩ තියන්නේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරන්නට ඕනැ,”ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, courtesy presidents media
තමන්ට වසර 49 ක දේශපාලන අත්දැකීම් ඇති බව පැවසූ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය සමඟ වැඩ කිරීමේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයක් ලෙස කටයුතු කිරීමේදීත් ගන්නා තීන්දු තීරණ ගනු ලබන්නේ ජනවාරී 8 වන දා රට තුළ සිදු වූ පරිවර්තනය ආරක්ෂා වෙන ආකාරයට බවද කියා සිටියේය.
සැමට සාධාරණත්වය ඉටු කිරීමට රාජ්‍ය නායකයා ලෙස තමන් කටයුතු කරන බවත්, වංචාවෙන් දුෂණයෙන් තොර මැර බලය සහ පවුල් පාලනයෙන් තොර යහපත් පාලනයක් රට තුළ ඇති කරන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වරක් මෙහි දී ප්‍රතිඥා දුන්නේය




