රාජ්‍ය මාධ්‍ය පමණක් මැතිවරණ කොමසාරිස් යටතට

ඡායාරූප මූලාශ්‍රය, AFP

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර, මැතිවරණ සමය තුළ රාජ්‍ය මාධ්‍ය සිය පාලනය යටතේ පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

නමුත් පෞද්ගලික මාධ්‍ය කෙරෙහි බලපෑමක් කිරීමට නව ව්‍යවස්ථාවෙන් තමන්ට කිසිදු බලයක් ලබා දී නැති බව මැතිවරණ කොමසාරිස් බීබීසීයට ප්‍රකාශ කළේය.

‘රජයේ මාධ්‍ය මැතිවරණ කොමසාරිස්ට යටත් වෙනවා. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් බලයක් නැතත් අපි ඔවුන් සමඟ එකඟතාවයෙන් වැඩ කිරීම සඳහා මාධ්‍ය උපමාන යෝජනා කර යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.’ ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Transparency International SL

දඬුවම්

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස් නිකුත් කර ඇති නිවේදන අනුව කටයුතු නොකරන රජයේ නිලධාරීන්ට දඬුවම් ලබා දිය හැකි බවක් පනතට ඇතුල් කොට තිබෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරන උදවියට එරෙහිව කටයුතු කිරීම සඳහා පොලිසිය සමඟ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.